වකුගඩු ජාවාරම ගැන වාර්තාව සතියකින් - වෛද්‍ය සභාව රෝහල්වලින් තොරතුරු ඉල්ලයි

Friday, 22 January 2016 - 19:21

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+-++%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
වකුගඩු ජාවාරමකට ශ්‍රී ලාංකීක වෛද්‍යවරුන් 6 දෙනෙකු සම්බන්ධ බවට ඉන්දීය පොලිසිය කළ අනාවරණය පිළිබඳ සොයා බැලීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කළ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව අද නම් කෙරුණා.

අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා කාන්ති ආරියරත්න, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා දීප්ති පෙරේරා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම කමිටුවට ඇතුළත්.

ඉන්දීය පොලිසිය අනාවරණ කර ඇති පරිදි ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් වකුගඩු ශල්‍යකර්ම සිදුකළ බව සැලකෙන රෝහල්වලට ගොස් අදාළ කමිටුව පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

ඔවුන් සතියක් ඇතුළත කඩිනම් වාර්තාවක් අමාත්‍යාංශයට භාරදීමට නියමිත අතර, එම වාර්තාවට අනුව අදාළ වෛද්‍යවරුන් 6 දෙනා පිළිබදව වෛද්‍ය සභාව ද දැනුවත් කිරීමට නියමිත බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ප්‍රකාශ කළා.

මෙරට වෛද්‍යවරුන් හයදෙනෙකු වකුගඩු ජාවාරමකට සම්බන්ධ බවට පසුගියදා ඉන්දීය මාධ්‍ය කරුණු වාර්තා කළ අතර, අනතුරුව මෙරට රෝහල්වල විදේශිකයින්ට සිදු කරන වකුගඩු සැත්කම් තාවකාලිකව අත්හිටුවීමටද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා.  

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන වකුගඩු ජාවාරමක් පිළිබඳව මුල්වරට තොරතුරු වාර්තාවුණේ 2012 වසරේදියි.

වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය ඉන්දීය රෝගීන් සඳහා තැරැව්කරුවන් මගින් ඉතා අධික මුදලකට ඉන්දීය ජාතිකයින්ගෙන්ම වකුගඩු ලබාගෙන එම සැත්කම් මෙරට පෞද්ගලික රෝහල්වලදී සිදුකර තිබෙනවා.

මෙහි ප්‍රධාන තැරැව්කරුවා වන ඉන්දීය ජාතිකයා සහ ඔහුගේ සහයකයින් දෙදෙනෙකු හයිද්‍රාබාද් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර, ඔහු හෙළි කර ඇත්තේ මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් 4කදී ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් 6 දෙනා මෙම වකුගඩු බද්ද කිරීම සිදුකර ඇති බවයි.   

මෙම තොරතුරු මාධ්‍ය මගින් හෙළිවීමත් සමඟ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවධානය ද මේ පිළිබඳ යොමුවී තිබෙනවා.

ඒ අනුව මාධ්‍යවල පළවී තිබූ ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරුන් හයදෙනා සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස වෛද්‍ය සභාව අදාළ පෞද්ගලික රෝහල්වලින් ඉල්ලීමක් කළ බවයි එහි ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

වෛද්‍යවරුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ බලය වෛද්‍ය සභාවට පැවරී ඇති නමුත් මෙම සිද්ධිය පිළිබඳව නිල පැමිණිල්ලක් මෙතෙක් වෛද්‍ය සභාව වෙත ලැබී නොමැති බව වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා කියා සිටියා.

මේ අතර රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී මෙම වකුගඩු ජාවාරම පිළිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්ණ කළේ එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසාගෙන්.

ජාවාරමට සම්බන්ධ බවට මාධ්‍යවල පළව තිබූ වෛද්‍යවරයෙකු පිළිබඳව තොරතුරු ලබාදිය හැකිදැයි ඔහු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසා සිටි අවස්ථාවේදී එය ලිඛිතව ලබාදෙන ලෙසයි මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවේදියාට දැනුම්දුන්නේ.

ඒ අනුව ඔහු එම වෛද්‍යවරයාගේ නම කොළ කැබැල්ලක සටහන් කර වෛද්‍ය නවීන් ද සොයිසා වෙත ලබාදුන්නා.

අනතුරුව මාධ්‍යවේදියා ප්‍රශ්න කළේ මෙම වෛද්‍යවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අතර, සබඳතාවක් තිබේද යන්නයි.

එම අවස්ථාවේ  දීර්ඝ සංවාදයක් ඇතිවූ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිශ්චිත පිළිතුරක් ලබාදුන්නේ නැහැ.