යුක්තිය ඉටුවිය යුතුයි

Thursday, 28 January 2016 - 7:20

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
ඇඹිලිපිටිය සිද්ධියේ  සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ජනතාව තුළ සැකයක් මතුව ඇති බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සඳහන් කරයි.

නව නගරයේ සාදයක දී පොලිසියේ පිරිසක් සමග ඇති වූ ගැටුමකින්   සුමිත් ප්‍රසන්න ජයවර්ධන මිය ගිය බව පැවසෙයි. ඔහුගේ  අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ද පෙනී සිටී.

විසිනව හැවිරිදි සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ දී සාක්කි දුන් මියගිය අයගේ බිරිඳගේ සාක්කියෙන් අනාවරණය වූ සැකකාර පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු ඊයේ නියෝග කළේ.

මරණකරුගේ විවාහක ගැබිනි බිරිඳ වූ ශෂිකා නිශාමනී මුණසිංහ පැය එක හමාරක් පමණ  සාක්කි ලබා දී තිබෙනවා. ඇය පවසා ඇත්තේ ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා -  සිය සැමියාට මරණය ගෙන දුන් පහර දීමේ සිද්ධියට පැමිණි බව තමා හඳුනා ගත් බවයි.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සඳහන් කළේ මෙම සිද්ධියේ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව ජනතාව තුළ සැකයක් මතුව ඇති බවයි.

නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් පැවසුවේ මරණ පරීක්ෂණයක දී අපරාධයක් සිදු වී ඇති බවට සාක්කියකින් සැකයක් මතු වන්නේ නම් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි බවයි.

ඒ අනුව සාක්ෂිවලින් අනාවරණය වු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මේ අතර නඩුවක දී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීම පමණක් ප්‍රමාණවත් නොවන අතර යුක්තිය ඉටු වන බව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ පවසයි.

ඔහු එම ප්‍රකාශය කළේ ඇඹිලිපිටිය ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා මෙන් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු විසින් සිදු කරන ලද නියෝගයෙන් අනතුරුවයි.