ලංකාවට සිකා අවදානමක් නැහැ

Friday, 29 January 2016 - 7:47

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
සිකා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් කිසිදු අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන සඳහන් කළේ එවැනි  ඕනෑම තත්ත්වයකදී ක්‍රියාත්මකවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව පවතින බවයි.

අලූතින් උපදින ළදරුවන්ගේ ආබාධ ඇති කරන මදුරුවන් මගින් බෝ වන සිකා වෛරසය වසංගත තත්ත්වයක් දක්වා ගමන් කළ හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

මේ වනවිට සිකා වෛරසය ඇමරිකාව ප්‍රමුඛ රටවල් 21 ක පැතිර ගොස් අවසන්. සිකා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ලවන්නේ ගැබිණි කාන්තාවන්ටයි.

ඒ හේතුවෙන් කුඩා හිසක් සහිත දරුවන් බිහිවන අතර, ඔවුන්ගේ මොළයද වර්ධනය වන්නේ අඩු වේගයෙන්.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් එය බහුලව පැතිර යන රටවල කාන්තාවන්ට ගැබ් ගැනීම් ප්‍රමාද කරන ලෙසයි සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ඇත්තේ.

ශ්‍රී ලංකාවට සීකා වෛරසය ඇතුළුවීම වැළැක්වීමේ පියවරක් ලෙස විශේෂයෙන් ලතින් ඇමරිකානු රටවලින් මෙරටට පැමිණෙන සංචාරකයන් පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.