ඇඹිලිපිටිය සිද්ධියට CIDය මෙන්ඩිස් ගොඩනැගිල්ලට

Friday, 05 February 2016 - 19:04

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+CID%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7
සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් ඇඹිලිපිටියේ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මිය ගිය තරුණයාගේ බිරිඳ සමඟ සිද්ධිය සිදුවූ මෙන්ඩිස් ගොඩනැගිල්ල වෙත ගොස් තිබෙනවා.

මිය ගිය සුමිත් ප්‍රසන්නගේ බිරිඳ වන නිශාමනී මුණසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිද්ධිය ඇති වී මසකට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන් සමඟ පරීක්ෂණ සඳහා එම ගොඩනැගිල්ල වෙත ගිය බවයි.

එහිදී ඇඹිලිපිටියේ හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා තම ස්වාමි පුරුෂයාට පහර දී බිමට තල්ලූ කළ ආකාරය පිළිබදව ඔවුන්ට පැහැදිලි කළ බවයි ඇය හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේ.

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා විසින් සුමිත් ප්‍රසන්නව බිමට තල්ලූ කළ බවට ප්‍රකාශ කෙරෙන ප්‍රධාන සාක්ෂිය ද ඔහුගේ බිරිඳ වන නිශාමනී මුණසිංහයි.

එමෙන්ම ඇයගේ් ප්‍රකාශය තහවුරු කරමින් පසුගිය දා තවත් සාක්ෂියක් අධිකරණයට ඉදිරිපත් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඇඹිලිපිටිය හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා සහ අනෙකුත් නිලධාරීන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

ඇඹිලිපිටිය ප්‍රදේශය භාර හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මේ වනවිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එම අත්අඩංගුවට ගැනීම සිදුවූයේද සැකකාර නිලධාරීන් 21 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නිකුත් කළ නියෝගයෙන් දින 05 කට පසුවයි.

මේ අතර, සාධාරණව ඔප්පු කළ හැකි සාක්ෂි තිබියදී මිනීමැරුම් චෝදනා එල්ල වී ඇති ඇඹිලිපිටියේ සෙසු නිලධාරීන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් සැක මතුවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් නීතිඥ අජිත් පතිරණ කියා සිටියේ සුළු තුවාල සිදුවන සිද්ධියකදී පවා සාධාරණ සාක්ෂි පවතී නම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සාමාන්‍ය ක්‍රමවේදය බවයි.

කෙසේ වෙතත්, මෙවැනි දරුණු මනුෂ්‍ය ඝාතනයකදී එම නීතිය ක්‍රියාත්මක නොවීම ගැටලූ මතුකරන බව ඔහු ප්‍රකාශ කළා.

නීතිඥ සංගමයේ මතය වී ඇත්තේ මෙම සිදුවීමේදී අගතියට පත් පාර්ශවයන්ට සාධාරණය ඉටු කිරීමට පොලිස්පතිවරයාට ඍජු වගකීමක් ඇති බවයි.

ඒ අනුව එම වගකීම දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස පොලිස්පතිවරයා ඉටුකර ඇත්ද යන්න ගැටලූවක් වී තිබෙනවා.