වෙල්ගමට ඇප

Tuesday, 16 February 2016 - 12:44

%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ශ්‍රී ලංගමයේ දුෂණ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනීසිටි හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම, අද ඇප මත මුදා හැරුණා.

හිටපු අමාත්‍යවරයා රුපියල් 25,000ක මුදල් ඇපයක් සහ රුපියල්  ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ.

කුමාර වෙල්ගම හිටපු ප්‍රවාහන අමාත්‍යවරයාව සිටියදී නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංගමයට උප සභාපති තනතුරක් ස්ථාපිත කර ඔහුට වැටුප් ගෙවීම තුලින් අල්ලස් පණතේ දුෂණයක් සිදුකර ඇති බව මොහුට විරුද්ධව එල්ල වන චෝදනාවයි.

මෙම නඩුව මාර්තු මස 24 වැනිදා යලි කැදවනු ඇති.

මේ අතර, අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීවරයාට මැයි මස 31 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද අද නොතීසි නිකුත් කෙරුණා.

ඒ රුපියල් මිලියන 125ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රේගු නිලධාරීන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති ඇති නඩුව අද ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එහිදී එක් සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණ සඳහා තවත් රේගු නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සිටින බව අල්ලස් කොමිසම ප්‍රකාශ කර ඇති නමුත් මෙතෙක් එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුව නොමැති බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරියාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා.

ශ්‍රී ලංගමයට අමතර කොටස් ලබා ගැනීමේදී ගණුදෙනුවකට අදාලව කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අදාලව රේගු අධිකාරිවරයෙකු, නියෝජ්‍ය රේගු අධිකාරිවරයෙකු සහ සහකාර රේගු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තොම්බර් මස 15 වැනිදායි.