මානව සම්පත් වැටලූ තෙල් සේවකයන්

Thursday, 18 February 2016 - 12:55

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A
කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින් පිරිසක් අද උදෑසන එහි පාලන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා රැඳී සිටින මානව සම්පත් අංශය වටලනු ලැබුවා.

ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත සඳහන් කළේ පිරිස් බල සැකැස්මට බාහිරව සේවකයින් 150 දෙනෙකු පමණ තෙල් සංස්ථාවට සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට බඳවා ගැනීම සඳහා ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සේවකයින් මෙලෙස මානව සම්පත් අංශය වටලා ඇති බවයි.

අදාළ පිරිස බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණ ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යාංශයේ ඊයේ පවත්වා තිබෙනවා.

ඊට අදාළ පත්වීම් ලිපි විෂය භාර අමාත්‍ය චන්දිම වීරක්කොඩිගේ උපදෙස් මත අද දිනයේ තෙල් තොග ගබඩා පර්යන්තයේ මානව සම්පත් අංශය විසින් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බවටයි ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ ප්‍රධාන ලේකම්වරයා චෝදනා කළේ.

හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් දැනගැනීමට ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි සම්බන්ධ කරගැනීමට උත්සාහ කළත් එය ව්‍යවර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

මේ නිසා ඒ පිළිබඳව අප කරුණු විමසුවේ ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ෂෙහාන් සෙනෙවිරත්නගෙන්.

ඔහු කියා සිටියේ අනියම් පදනම මත මෙම සේවකයින් බඳවාගැනීමට තීරණය කර ඇති බවයි.