නොදන්වා විදුලිය කපනවාද ?

Monday, 29 February 2016 - 8:27

%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B4%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%3F
අක්‍රියව පැවැති නොරොච්චෝලේ විදුලි බලාගාරය අද පස්වරුව වන විට සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාවක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි සභාපති අනුර විජේපාල සඳහන් කළේ ඊයේ දිනය වන විට එක් ජනන යන්ත්‍රයක් යළි පණ ගැන්වීමේ කටයුතු සිදුකළ බවයි.

විදුලිය සම්ප්‍රේෂණය කරන අධිවෝල්ටීය රැහැන් පද්ධතියෙහි පසුගිය බ්‍රහස්පතින්දා හටගත් තාක්ෂණික දෝෂයක්  නිසා නොරොච්චෝලේ විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම අක්‍රිය වුණා.

පසුව විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියේ පස්වරු 6.30ත් රාත්‍රී 10.30ත් අතර කාලය තුළ වායුසමීකරණ, ශීතකරණ ආදිය භාවිතා කිරීම අවම කරන ලෙසයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන ධාරිතාව මෙගාවොට් 900ක්.

පසුගිය බ්‍රහස්පතින්දා පස්වරුවේ දිවයින පුරා පැය තුනකට ආසන්න කාලයක් සිදුවු විදුලි බිඳ වැටීමට හේතු වූයේ ලක්ෂපාන විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ කොලොන්නාවට විදුලිය සම්ප්‍රේෂණය කරන අධිබලැති රැහැන් පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක්.

මෙලෙස විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරි ක්‍රියාවක ප්‍රතිඵලයක් දැයි සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදාළ අංශ වෙත නියෝග කර තිබෙනවා.

එමෙන්ම  විදුලි බිඳ වැටීම පිළිබඳව සොයාබැලීම සඳහා විශේෂ කමිටු දෙකක් පත් කිරීමට පියවර ගත් බවයි විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ලංකා විදුලි සේවක සංගමය සදහන් කළේ ස්වභාවිකව සිදුවන ආපදා වැළැක්වීමට පියවර ගන්නවා මිස කමිටු පත් කිරීමෙන් ඵලක් නොවන බවයි.

එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ විදුලිබල මණ්ඩලය නොදන්නවා විදුලිය විසන්ධි කිරීම සිදුකරන බවයි.