සුමිත් ප්‍රසන්නගේ සිරුර ගොඩගනී ?

Wednesday, 02 March 2016 - 13:10

%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%3F
ඇඹිලිපිටියේදී මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය යලි පවත්වන ලෙස නීතිපතිවරයා කරනු ලැබූ ඉල්ලීම සම්බන්ධයෙන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු අද (02) ප්‍රකාශ කළා.

පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් පසු ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න නමැති තරුණයා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශණ පෙරේරා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම තරුණයාගේ මෘත දේහය ගොඩගෙන විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂනය සිදු කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසයි.

මෙම මරණය පිළිබඳව රත්නපුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලබාදුන් වාර්තාව සහ නඩු විභාගය සිදුවන අතරතුර ඉදිරිපත් වූ සාක්ෂි එකිනෙකට පරස්පර විරෝධී බව බැලූ බැල්මටම පෙනී යන බවයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

මීට අමතරව, නීතීඥ සංගමය ද මෙම තරුණයා මියයාම පිළිබඳව මරණ පරීක්ෂණය යළි පවත්වන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු නියෝග කළේ මේ පිළිබඳව තීන්දුව හෙට ප්‍රකාශයට පත් කරන බවයි.

මේ අතර, මෙම නඩුව සඳහා මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ ගෙන එනු ලැබූ ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරි ඞී.සී. ධර්මරත්න හෙට දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් සුමිත් ප්‍රසන්න නමැති තරුණයා මියගියේ පසුගිය ජනවාරි 07 වැනිදායි.