ඇඹිලිපිටිය තරුණයාගේ දේහය යලි ගොඩගන්නවාද? නැද්ද ? - තීරණය අද

Thursday, 03 March 2016 - 7:25

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%3F+%E0%B6%B1%E0%B7%90%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+%3F+-+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ඇඹිලිපිටියේදී මිය ගිය සුමිත් ප්‍රසන්නගේ දේහය ගොඩගෙන යළි පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය අද දැනුම් දීමට නියමිතයි.  

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥ සුදර්ශණ පෙරේරා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඊයේ ඉල්ලා සිටියේ තරුණයාගේ මෘත දේහය ගොඩගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන ලෙස නියෝගයක් ලබා දෙන ලෙසයි.

මරණය පිළිබදව රත්නපුර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලබාදුන් වාර්තාව සහ නඩු විභාගය අතරතුර ඉදිරිපත් වූ සාක්ෂි එකිනෙකට පරස්පර විරෝධී බව බැලූ බැල්මටම පෙනී යන බව ඔහු තවදුරටත් කියා සිටියා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු සඳහන් කළේ මේ පිළිබදව තීන්දුව අද ප්‍රකාශයට පත් කරන බවයි.

මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් තවත් සාක්ෂියක් ඇති බව රහස් පොලීසිය ඊයේ අධිකරණයට දැනුම් දුන්නා.

එම පුද්ගලයා කථන ආබාධ සහිත පුද්ගලයෙකු බවයි ඔවුන් වැඩිදුරටත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ.

ඒ අනුව ඔහුගෙන් සාක්ෂි ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සළසා දීමට කටයුතු කරන ලෙස රත්මලාන අඳ - ගොළු - බිහිරි පාසලේ විදුහල්පතිවරයාට ඇඹිලිපිටිය විනිසුරුවරයා නියෝග කළා.

එහිදී මහේස්ත්‍රාත්වරයා විදුහල්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දුන්නේ ගොලූ භාෂා පරිවර්තකයෙකුගේ සහය රහස් පොලීසියට ලබාදීමට කටයුතු කරන ලෙසයි.

දැනට සාක්ෂිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා.

මේ අතර, සුමිත් ප්‍රසන්න මියයෑමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඞී.සී. ධර්මරත්න අද දක්වා යළි  රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ  සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.
 
ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර පොලිසිය සමග ඇති වූ ගැටුමකින් සුමිත් ප්‍රසන්න නමැති තරුණයා මියගියේ පසුගිය ජනවාරි 07 වැනිදායි.

සිද්ධියෙන් අනතුරුව ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුලූ ඊට සම්බන්ධ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගන්නා ලෙසයි අධිකරණය  නියෝග කළේ.

කෙසේ වෙතත් තරුණයා මියගොස් මාස දෙකකට ආසන්න කාලයක් ගතවීමට ආසන්න වුවත් තවමත් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ සහකාර පොලිස් අධිකාරිවරයා පමණයි.