තංගල්ලේ කප්පම් කල්ලිය දැලේ

Friday, 04 March 2016 - 9:36

%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
ආමි අමිල නමැති පාතාල නායකයා ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් බිය ගන්වා කප්පම් ගත් පුද්ගලයන් 04 දෙනෙකු සහ කාන්තාවක් තංගල්ල ප්‍රදේශයේදී පොලිසිය ඊයේ (03) අත්අඩංගුවට ගත්තා.

පොලිසිය ප්‍රකාශ කළේ තංගල්ල - විතාරන්දෙනිය ප්‍රදේශයේදී 43 හැවිරිදි විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයෙකු පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.

ඒ අනුව තවත් සැකකරුවන් තුන්දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්, වයස අවුරුදු 40, 55 සහ 57 වයස්වල පසුවන විතාරන්දෙණිය සහ තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකාරිය - බෙන්තොට ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.

මොවුන්, පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇත්තේ තංගල්ල - පොළොන්මාරුව ප්‍රදේශයේ අඳගොලු බිහිරි පාසලේ සාමාන්‍යාධිකාරිවරයාට තර්ජනය කර රුපියල් 50,000 ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියක් සමඟයි.

ඒ අනුව, එම කප්පම් මුදල රැගෙන යාමට පැමිණි මෙම කල්ලියට අයත් විශ්‍රාමික යුද හමුදා සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් මීට පෙර තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකු ශාඛාවක කළමනාකරුගෙන් රුපියල් 20,000 බැගින් අවස්ථා දෙකකදී රුපියල් 40,000 ක් ද, තවත් රාජ්‍ය බැංකු කළමනාකරුවෙකුගෙන් රුපියල් 10,000 ක් ද, තානායම් කළමනාකරුවෙකුගෙන් රුපියල් 5000 ක් ද, ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙම සැකකරුවන් සහ සැකකාරිය ඊයේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.