රජිව් ඝාතකයන් නිදහස් කරන්න බෑ

Friday, 04 March 2016 - 13:01

%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%91
රජිව් ගාන්ධි ඝාතනයේ චූදිතයන් 7 දෙනා නිදහස් කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය කර ඇති ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව ඉන්දීය මධ්‍යම රජය ප්‍රකාශ කළා.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං වෙත ලිපියක් යොමුකරමින් තමිල්නාඩු ප්‍රාන්ත රජය ප්‍රකාශ කළේ රජිව් ඝාතනය සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටින චූදිතයන් සියලුදෙනා නිදහස් කිරීමට තමන් සූදානම් බවයි.

කෙසේ නමුත් මෙහිදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව කටයුතු කිරීම මධ්‍යම රජයේ මතය බවයි ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දීය ලෝක් සභාවේදී ඊයේ ප්‍රකාශ කළේ.

රජිව් ඝාතකයන් නිදහස් කිරීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජයට ස්වාධීන තීන්දුවක් ගත නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය 2015 වසරේ දෙසැම්බර් 2 වනදා ප්‍රකාශ කළා.

එම තීන්දුව උපුටා දක්වමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ රජිව් ඝාතකයන් නිදහස් කිරීම සඳහා විවිධ පාර්ශවවලින් ඉදිරිපත් වූ ඉල්ලීම් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවයි.

ඒ අනුව කටයුතු කිරීම ව්‍යවස්ථානුකූල මෙන්ම, සියල්ලන්ගේ සදාචාරාත්මක වගකීමක් බව ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං අවධාරණය කළා.

මුරුගන්, ශාන්තන්, අරිබු, රොබට් පායෙස්, රවීචන්ද්‍රන් සහ නලිනි යන චූදිතයන් මේ වනවිට රජිව් ඝාතනය සම්බන්ධයෙන් සිරදඬුවම් විඳිමින් සිටිනවා.

ඒ අතුරෙන් චූදිතයන් 4 දෙනෙකුම ශ්‍රී ලාංකිකයන්. ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි 1991 වසරේ මැයි 21 වනදා තමිල්නාඩුවේ ශ්‍රී පෙරුම්බූර් හිදී එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.