වෙඩි වැදුණු ගැබිණි කතට පැය 7 ක සැත්කමක් - දරුවාට හානියක් නැහැ

Sunday, 06 March 2016 - 13:14

%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+7+%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී ඊයේ පස්වරුවේ වෙඩි වැදුණු ගැබිනි කාන්තාව පැය 7 ක ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ඇය තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර ඇයගේ කුසේ සිටින දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද රෝහල් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.

ඊයේ පස්වරු 3.40ට පමණ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටදී රැඳවියෙකු බලා පිටව යමින් සිටි මෙම කාන්තාව වෙඩි ප්‍රහාරයකට ලක්වුණා.

මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු තමන් සමයං නැමති පුද්ගලයාගේ බිරිඳදැයි විමසා වෙඩි තැබීම සිදුකර ඇති බවටයි.

වෙඩි වැදීමෙන් බරපතල තත්ත්වයට පත්වූ ගැබිණි කාන්තාව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පොලීසිය පවසන්නේ වෙඩි වැදුණු කාන්තාවගේ සැමියා සමයං නැමති පුද්ගලයෙකු නොවන අතර සුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අයෙකු බවයි.

ඔහු බරපතල ගණයේ අපරාධකරුවෙකු නොවන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තු සඳහන් කළා.

දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව වැරදීමකින් මෙම ගැබිණි කාන්තාවට වෙඩි තබන්නට ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.

වෙඩි තබා පළාගිය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔවුන් පිළිබඳව මේ වනවිටත් තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවයි පරීක්ෂණ මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.