UPDATE: මහානාහිමියන්ගේ ශ්‍රී දේහය අස්ගිරි මහාවිහාරයේ උපාලි ශාලාවට වැඩම කෙරේ

Thursday, 10 March 2016 - 7:19

UPDATE%3A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B8+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අපවත්වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි මහානාහිමියන්ගේ ශ්‍රී දේහය උරුලෑවත්ත විහාරස්ථානයේ සිට අද (10) පස්වරු 4 ට අස්ගිරි මහා විහාරයේ උපාලි ශාලාව වෙත වැඩම කරවනු ලැබුවා.

ඊයේ (09) රාත්‍රියේ අපවත්වූ අස්ගිරි මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය අස්ගිරි මහා විහාරයේ උන්වහන්සේගේ පෞද්ගලික ආරාමය වන උරුලෑවත්ත විහාරස්ථානය වෙත අද පෙරවරුවේ වැඩම කරවනු ලැබුවේ රිය පෙරහරකින්.

මේ වනවිට උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල ජනතාවක් පැමිණ සිටින බවයි අස්ගිරි මහාවිහාරයේ සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු ආර්.එම්.ආර් රත්නායක සඳහන් කළේ.

අපවත්වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මේ මස 13 වනදා පස්වරු දෙකට මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරුවේ රැස්වූ ආදාහන පූජෝත්සව කමිටුව මෙම තීරණය ගත් බවයි අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කෙරෙන එළඹෙන ඉරිදා දිනය ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමට අදාළ චක්‍රලේඛ නිකුත් කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි සඳහන් කළා.

ඔහු කියා සිටියේ උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකරන බවයි.

මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකෙරෙන ඉරිදා දිනයේ මහනුවර නගර සීමාවේ සියලූම සුරාසැල් සහ මාංශ අලෙවිසැල් වසා දැමීමට පියවර ගන්නා බවයි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක සඳහන් කළේ.

අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානාහිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් මල්වතු මහාවිහාර පාර්ශවයේ සංවේගය පළ කරන බව මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් පවසනවා.

එමගින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ ආදර්ශවත් පැවිදි ජීවිතයක් ගත කළ අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී මහානාහිමියන්ගේ අපවත්වීම වත්මන් සඟ සසුනට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවක් ලෙස සැලකිය හැකි බවයි.

මේ අතර, අස්ගිරි මහානාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව සංවේගය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් පවසනවා.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇසුරින් සාමය සහ සංහිඳියාව සඳහා පෙනී සිටිමින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත නගා සිටුවීමට නොපසුබට උත්සාහයක් උන්වහන්සේ විසින් ගනු ලැබූ බවයි එම නිවේදනයේ පෙන්වා දෙන්නේ.

එමෙන්ම, අස්ගිරි මහානාහිමියන්ගේ අපවත්වීම සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට පමණක් නොව ලෝකවාසී බෞද්ධ ජනතාවට සිදුවූ විශාල පාඩුවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ශෝක පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.

එහි මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීරගේ අත්සනින් නිකුත් කර ඇති එම පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ උන්වහන්සේ රටේ සියලු ජනකොටස් අතර සාමානාත්මතාවය අගයමින් සෑම විටම අන්‍යෝන්‍ය සහජීවනය උදෙසා කැපවී කටයුතු කළ යතිවරයාණන් වහන්සේ නමක් බවයි.

අස්ගිරි මහානාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණ ද සිය සංවේගය පළ කළා.

අපවත්වී වදාල අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියන් 1922 ජනවාරි මස 11 වනදා මාතලේ - අස්ගිරි පල්ලේසියපත්තුව - ගලගම ප්‍රදේශයේ උපත ලැබූ අතර, උන්වහන්සේ අපවත්වන විට 94 වන වියේ පසුවුණා.

1936 දී පැවිදි දිවියට පත් මහ නාහිමියන් උපසම්පදාව ලැබුවේ 1942 වසරේයි.

මහියංගණ රාජමහා විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කළ අස්ගිරි මහ නාහිමියන් 2015 වසරේ මැයි මස 8 වනදා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ 21 වන මහ නාහිමියන් ලෙස තේරී පත්වුණේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුවයි.


Update : Thursday, March 10, 2016 19.36
-------------------------------------------------------

මහ නාහිමිගේ ආදාහන පුජෝත්සවය 13වනදා

අපවත්වී වදාළ අස්ගිරි මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි  නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය මේ මස 13 වනදා පස්වරු දෙකට මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරුවේ රැස්වූ ආදාහන පූජෝත්සව කමිටුව මේ බව තීරණය කර ඇති බවයි අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට සූදානමින් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියා.

ඊයේ රාත්‍රියේ අපවත්වූ අස්ගිරි මහ නාහිමියන්ගේ දේහය අද පෙරවරුවේ අස්ගිරි මහා විහාරයේ උන්වහන්සේගේ පෞද්ගලික ආරාමය වෙත වැඩම කරවනු ලැබුවා.

--------------------------------------------------
THURSDAY,10 MARCH 2016 7-19

අපවත්වී වදාළ අස්ගිරි මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සි මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය අද පෙරවරුවේ එම විහාරයට වැඩම කරවීමට නියමිතයි.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගන්නා බවයි.

විහාරස්ථානයේ නාන කාමරයේදී හදිසියේ ඇද වැටීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට  ඇතුළත් කළ අස්ගිරි මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියන් ඊයේ රාත්‍රියේ අපවත්වුණා.

ඒ, රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ආර්.එම්.එස්. රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ හදිසියේ වැළඳුණු හෘදයාබාධයක් හේතුවෙන් උන්වහන්සේ අපවත්වී ඇති බවයි.

අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහ නාහිමියන් 1922 ජනවාරි මස 11 වනදා මාතලේ - අස්ගිරි පල්ලේසිය පත්තුව ප්‍රදේශයේ උපත ලැබූ අතර, උන්වහන්සේ අපවත්වන විට 94 වන වියේ පසුවුණා.

1936 දී පැවිදි දිවියට පත් මහ නාහිමියන් උපසම්පදාව ලැබුවේ 1942 වසරේයි.

මහියංගණ රාජමහා විහාරයේ විහාරාධිපති ලෙස කටයුතු කළ අස්ගිරි මහ නාහිමියන් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ 21 වන මහ නාහිමියන් ලෙස තේරී පත්වුණේ 2015 වසරේ මැයි මස 8 වනදායි.

ඒ, උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුවයි.