බැසිල්ට විදේශ ගතවීම තහනම්

Thursday, 10 March 2016 - 10:54

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
 දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.කේ. රණවකට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා භාරදුන්නා.

මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි මොවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි නියෝග කෙරුණේ.

ඊට අමතරව විත්තිකරුවන්ට විදෙස් ගමන් තහනම් කළ විනිසුරුවරිය විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙසයි දැනුම්දුන්නේ.

මෙම නඩුව ජූලි මස 22 වනදා විභාග කිරීමටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇපය ගෙවාගැනීමට තම සේවාදායකයින්ට නොහැකි බවයි.

එහිදී  විනිසුරුවරිය නියෝග කළේ මේ මස 15 වනදාට පෙර අදාළ ඇප මුදල අධිකරණය භාරයේ තබන ලෙසයි.

පසුගිය ජනාධීපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රුව සහිත ලිත් මුද්‍රණය කිරීම තුළින් දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 26 කට අධික මුදලක් සාපරාධී පරිහරණය කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාට සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබුවා.