ගිනිගත් වෑන් රියේ ගිය කිහිප දෙනෙක් ගැන හෝඩුවාවක්

Friday, 11 March 2016 - 18:58

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%9D%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේ දී ගිනිගෙන විනාශ වූ වෑන් රථයක තිබී හමුවූ මළ සිරුරු 5 සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.

ඒ, පොලිස්පතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුවයි.

මේ අතර, අද දහවල් එම ස්ථානයට පැමිණි මාරවිල මහේස්ත්‍රාත් පසන් අමරසිංහ, මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ පිළිස්සී මිය ගොස් සිටි පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණ පවත්වා ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි.

දංකොටුව - ඉරබඩගම - කොස්හේනවත්ත ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී මෙම වෑන් රථය දංකොටුව පොලිසිය අද අලූයම සොයා ගත්තේ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි.

ජන ශුන්‍ය ප්‍රදේශයක් වන මෙම ප්‍රදේශයට අදාළ වෑන් රථය පැමිණ ඇත්තේ අද අලූයම 2 ත් 5 ත් අතර බවට පොලිසිය සැක කරනවා.

ගිනිගෙන විනාශ වූ වෑන් රථය තුළ තිබී හඳුනා ගැනීමට නොහැකි තරමට පිළිස්සී තිබූ මළ සිරුරු 5ක කොටස් පොලීසිය සොයා ගත්තා.

දංකොටුව පොලිසියේ නිලධාරින් එම ස්ථානයට යන විට වෑන් රථයේ පිටුපස දොර ඇර තිබූ අතර, වෑන් රථයේ තිබෙන ස්ථානයේ මෙන්ම, එම ස්ථානයේ සිට මීටර් 500 ක් දුරට මාර්ගයේ ලේ පැල්ලම් ද තිබූ බවයි පොලිසිය සදහන් කළේ.

ඒ අනුව කාර්මික දෝෂයක් හේතුවෙන් වෑන් රථය ගිනිගෙන විනාශ වී නොමැති බවට තහවුරු කරගෙන තිබෙනවා.  

මෙම මළ සිරුරු කාගේ ද යන්න තවමත් අනාවරණ වී නැහැ. මොවුන් ඝාතනය කර වෑන් රථයේ දමා මෙම ස්ථානයට රැගෙනවිත් ඊට ගිනිතබා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. වෑන් රථය තිබූ ස්ථානයේ මීට පෙර ද ඝාතන කිහිපයක් සිදුව තිබෙනවා.

හලාවත සිට කුලී ගමනක් යන මුවාවෙන් රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරෙකු මීට මාස 5කට පමණ පෙර ඝාතනය කර තිබුණේ ද මෙම ස්ථානයේ බව දංකොටුව පොලීසියේ නිලධාරියෙකු සදහන් කළා.

දැනට සිදුකළ පරීක්ෂණවලදී  අනාවරණ වී ඇත්තේ මෙම වෑන් රථය කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට අයත් එකක් බවටයි.

ඇය එම වෑන් රථය පෞද්ගලික මූල්‍ය ආයතනයට කුලී පදනම මත ලබාදී තිබෙනවා.

පසුව අදාළ සමාගම විසින් කල් බදු ක්‍රමයට වාහන ලබාගෙන හිඟ වාරික ඇති වාහන අත්පත් කර ගන්නා ප්‍රධානියෙකු ලෙස කටයුතු කරන මාකඳුර - කජුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙත ලබාදී ඇති බවට හෙළිදරව් වුණා.

සෙනරත් කපිල බණ්ඩාර හෙවත් නේවි කපිල ලෙස හඳුන්වන එම පුද්ගලයාගේ බිරිඳ අද වෑන් රථය ගිනිගත් ස්ථානයට පැමිණ තිබෙනවා.

පොලීසිය සදහන් කළේ මොහු මීට දින 5කට පමණ පෙර නිවසින් පිටව ගොස් ඇතත්, මේ දක්වා නිවසට නොපැමිණි බවට අදාළ කාන්තාව පොලීසියට පැමිණිලි කර ඇති බවයි.

එම පුද්ගලයාට එරෙහිව මිනී මැරුම් සහ කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වන බව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

එමෙන්ම තම දියණිය අපයෝජනයට ලක් කළ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
 
මොහු අදාළ වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති අතර, ගිනිගෙන දැවුණු වෑන් රථය ඔහු පැදවූ වෑන් රථයම දැයි ඔහුගේ බිරිඳට නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වූ බව පොලීසිය කියා සිටියා.

මිය ගිය පුද්ගලයින් අතර, එම පුද්ගලයා සිටින බවට පොලීසිය සැක කරනවා.

මීගමුව රෝහලේ පැවැත්වෙන වෛද්‍ය පරීක්ෂණයේදී ඒ බව නිශ්චිතවම අනාවරණය කර ගැනීමට හැකි වනු ඇති බවයි මෙම සිද්ධිය පිළිබදව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියා කියා සිටියේ.