වැලිකඩ පොලිස් සිර මැදිරියේදී පහර කෑ පුද්ගලයෙකු රෝහලේ

Sunday, 13 March 2016 - 13:13

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%9A%E0%B7%91+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
වැලිකඩ පොලිස් සිර මැදිරිය තුළදී පහරකෑමට ලක්වූ පුද්ගලයෙකු රෝහල් ගතකර තිබෙනවා.

බගවන්තලාව වත්තේ පහළ කොටසේ පදිංචි ගෝවින්ද රාජ් ඥාණසේකරන් නැමති පුද්ගලයා මෙලෙස පොලිස් පහරදීමකින් ඇතිවූ තැලීම් හේතුවෙන් ප්‍රතිකාර සඳහා බගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

මොහු මීට මාස කිහිපයකට ප්‍රථම කොළඹ - නාවල - කොස්වත්ත ප්‍රදේශයේ ඇඟළුම් කම්හල් හිමියෙකුගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ තිබෙනවා.
පසුගිය දෙසැම්බර් මස තුන්වනදා මොහු නිවාඩු ලබා යළි බගවන්තලාවේ සිය නිවස වෙත ගොස් ඇති අතර, ඉන් පසු ඔහු යළි සේවයට පැමිණ නැහැ.

මීට සති දෙකකට පෙර ගෝවින්ද රාජ්ට බගවන්තලාව පොලීසියෙන් දැනුම්දී ඇත්තේ ප්‍රකාශයක් ලබාදීම සඳහා වැලිකඩ පොලීසියට යන ලෙසයි.

ඒ අනුව පසුගිය මාර්තු 8 වනදා මොහු තවත් හිතවතෙකු සමඟ වැලිකඩ පොලීසියට පැමිණ තිබෙනවා.

එහිදී වැලිකඩ පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විමසා ඇත්තේ යළි සේවයට නොගියේ කුමන හේතුවක් නිසාද යන්නයි.

එහිදී ගෝවින්ද රාජ් පොලීසියට පවසා තිබෙන්නේ අදාළ නිවසේ සේවය කිරීමට සුදුසු වාතාවරණයක් නොමැති නිසා තමන් බගවන්තලාව ප්‍රදේශයේ තේ කම්හලක රැකියාවක් සොයාගත් බවයි.

එහිදී පොලිස් නිලධාරීන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් සොරකම් කර පළාගිය බවට ගෝවින්ද රාජ්ට එරෙහිව පැමිනිල්ලක් ලැබී ඇති බව පවසමින් ඔහු වැලිකඩ පොලීසිය තුළ රඳවාගෙන තිබෙනවා.

ඉන්පසු දින දෙකක් තිස්සේ ආහාර කිසිවක් නොදී වැලිකඩ පොලීසිය තුළ රඳවාගෙන තමන්ට පහරදුන් බවයි ගොවින්ද රාජ් පවසන්නේ.

පහරදීම්වලින් ඇතිවූ තැලීම් තුවාල හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගතවූ ගෝවින්ද රාජ් බගවන්තලාව පොලීසියට පැමිනිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා.

බගවන්තලාව පොලීසියෙන් මෙම පැමිණිල්ල පොලිස් මූලස්ථානය වෙත යොමුකර ඇති අතර, ඉන් අනතුරුව අදාළ පැමිණිල්ල විශේෂ විමර්ශනයක් සඳහා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේන් ගුණසේකර වෙත යොමු කර ඇති බව  සඳහන්.