රටම අදුරු කල සිද්ධියේ සියලු තොරතුරු 23 මැතිසභයට

Monday, 14 March 2016 - 19:26

%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+23+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%B7%E0%B6%BA%E0%B6%A7
ඊයේ දිනයේ දිවයින පුරා විදුලිය බිඳ වැටීම හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය අඩාල වීම සහ බොහෝ දෙනා මුහුණ දුන් දුෂ්කරතා පිළිබද රජය වෙනුවෙන් කණගාටුව පළ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

කෙටි කාලයක් තුළ මේ අයුරින් විදුලිය බිඳ වැටුණු 3 වන අවස්ථාව මෙයයි.

එය ඉතා බරපතල තත්ත්වයක් වන අතර මෙවැනි සිදුවීම් පිළිබදව තවදුරටත් සමාව දිය නොහැකි බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද දහවල් විශේෂ සාකච්ඡාවක්
පැවැත්වුණා.

විදුලිබල අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ විදුලිබල මණ්ඩල සභාපතිවරයා ඊට එක්වී තිබෙනවා.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබද සියලූ තොරතුරු ලබන 23 වන දා පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

විදුලි උත්පාදනය පිළිබඳ  සැලැස්මකින් තොරව කටයුතු කිරීමේ විපාක දැන් විදින්නට සිදුවී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

ජනතාවට අඛණ්ඩ විදුලිබල සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය කෙටිකාලීන සහ මධ්‍ය කාලීන විසදුම් සෙවීමට ප්‍රමුඛත්වය හිමි වනවා. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ, ප්‍රතිසංවිධාන හෝ ප්‍රතිව්‍යුහගත කිරීම් ඉටු කරලීමට ද කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරනවා.

මේ අතර, පොලීසිය, බියගම විදුලි උපපොලේ ට්‍රාන්ස්පෝමරයක ඊයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, එම විදුලි උපපොලෙහි සහකාර ඉංජිනේරුවරයා සපුගස්කන්ද පොලිසියට සිදුකළ පැමිණිල්ලට අනුවයි.

ඒ අනුව, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ සිද්ධිය වූ ස්ථානය අද පරීක්ෂාවට ලක් කළා.

එමෙන්ම, මෙම සිද්ධිය පිළිබඳව සපුගස්කන්ද පොලිසිය අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

බියගම විදුලි උපපොලෙහි සිදුවූ මෙම පිපිරිමත් සමග දිවයින පුරා ඊයේ විදුලිය ඇණ හිටියා.

මේ අතර, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය  අජිත් පී පෙරේරා අද එම විදුලි උපපොල පරීක්ෂාවට ලක් කළා.

අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා සිටියේ මෙම පිපිරීමත් සමග නොරොච්චෝලේ බලාගාරය ද ඇණහිට ඇති නිසා ඉදිරියේදී  ඕනෑම මොහොතක විදුලිය විසන්ධි වීමේ හැකියාවක් පවතින බවයි.

මේ නිසා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.  

මෙහිදී හිරු මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේ මෙය කඩාකප්පල්කාරි ක්‍රියාවක් බවට සැක කරන්නේ ද යන්නයි.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

මාධ්‍ය හමුවට විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල ද එක්ව සිටි අතර, ඊයේ සිදුවූ පිපිරීම පිළිබදව ඔහු අදහස් පළ කළා.

එහිදී ඔහුට ද මාධ්‍යවේදින්ගෙන් ප්‍රශ්න කිහිපයක් යොමුවුණා.

අවස්ථා තුනකදී දිවයින පුරා මෙලෙස විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් තමන් වගකීම භාරගෙන ඉල්ලා අස්වන බවයි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඊයේ ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී ඔහුගේ ඉල්ලා අස්වීම භාර නොගත් බව විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද පැවති මාධ්‍ය හමුවේදී සදහන් කළා.