විදුලිය ඇණ හිටීම ගැන සොයන්න ජනපතිගෙන් විශේෂ කමිටුවක්

Tuesday, 15 March 2016 - 8:09

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%87%E0%B6%AB+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
දිවයින පුරා හදිසියේ විදුලි ඇණහිටීම් හා ඒ සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වයන් මෙන්ම ඉන් බාහිර කටයුතු පරීක්ෂා කර ගත යුතු කඩිනම් පියවර රජයට නිර්දේශ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළුව සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික සහ සාගල රත්නායක යන අමාත්‍යවරුන් මෙන්ම ඉරාන් වික්‍රමරත්න සහ අජිත් පී. පෙරේරා එහි සාමාජිකයන්.

මෙම කමිටුවේ පළමු වාර්තාව සතියක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

විදුලිබල ක්ෂේත්‍රයේ ඇති දුර්වලතා සහ ගැටළු නිරාකරණය කර ගනිමින් රටේ ජන ජීවිතය මෙන්ම සංවර්ධන ක්ෂේත්‍රයට කිසිදු බලපෑමක් ඇති නොවන සේ සේවාවන් ලබාදීමට අවශ්‍ය නිර්දේශ මෙම කමිටුව මගින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් පත් කළ මෙම විශේෂ කමිටුව මාස 3ක පමණ කාලයක් තුළ අවශ්‍ය කටයුතු ඉටු කිරීමට නියමිත අතර ඔවුන්ට විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති පුද්ගලයන් සහ විද්වතුන්ගේ සහාය ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙනවා.

මේ අතර අප කළ විමසීමකදී විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා විසින් පත් කළ මෙම විශේෂ කමිටුව අද පස්වරු 3ට අමාත්‍යාංශයේදී රැස්වන බවයි.

නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු යථා තත්ත්වයට පත් කරන තුරු විදුලිය කප්පාදු කිරීමට සිදුවුවහොත් ඒ පිළිබද අදාළ ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල සඳහන් කළා.