ඉදිරි දින දෙකේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Tuesday, 15 March 2016 - 15:52

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
ඉදිරි දින දෙක තුළ දිනකට පැය හතහමාරක විදුලිය කප්පාදුවක් සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ එය කාණ්ඩ  දෙකක් යටතේ සිදුකරන බවයි.

ඒ අනුව පෙරවරු හතේ සිට දහවල් 12.30 දක්වා සහ පස්වරු හයේ සිට රාත්‍රී අට දක්වා එක් කාණ්ඩයකට මෙලෙස විදුලිය විසන්ධි කෙරෙනවා.

දහවල් 12.30 සිට පස්වරු 6 දක්වා සහ රාත්‍රී අටේ සිට රාත්‍රී 10 දක්වා අනෙක් කාණ්ඩයට විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

මේ අතර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුලූ පිරිසක් අද නොරොච්චෝලේ තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකද නිරතවුණා.

මේ වනවිට එහි විදුලි උත්පාදනය ඇණහිට තිබෙනවා.

ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900 ක විදුලිබල ධාරිතාවක් අහිමිවන බව අතර ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ නොරොච්චෝලේ විදුලි බලාගාරය යළි සක්‍රිය කිරීම සඳහා තවත් දින දෙකක පමණ කාලයක් ගතවන බවයි.

මේ අතර විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පත් කළ කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබුණා.

කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

සමාජවාදී ජනතා පෙරමුණ කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කළේ විදුලි බල සැපයුම ජනසතු කළ යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියා සිටියේ රටම එළිය කළ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවයි.

අද දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට විටින් විට විදුලිය විසන්ධිවීම් සිදුවූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.