Update : විදුලිය විසන්ධි වීම හෙටින් පසුව අවසන්

Wednesday, 16 March 2016 - 7:58

Update+%3A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
හෙට සිට කප්පාදුවකින් තොරව සාමාන්‍ය පරිදි විදුලිය ලබාදීමට පියවර ගන්නා බව විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

කොළඹ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු හෙට පෙරවරුවේ සිට යළි ආරම්භ කරන බවයි.

එසේම බියගම ග්‍රිඞ් උප පොලේ හානි වූ ට්‍රාන්ස්ෆෝමරය වෙනුවට නව ට්‍රාන්ස්ෆෝමරයක් සවිකළ බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර විදුලිබල මණ්ඩලයට අයත් විදුලි බලාගාර සහ ග්‍රිඞ් උප පොලවල ආරක්ෂාව සඳහා අද සිට ත්‍රිවිධ හමුදාව  යොදවා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම පියවර ගත් බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ.


Update : Wednesday, March 16, 2016 16.49
------------------------------------

දිවයින පුරා දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හෙට වන විට අවසන් කළ හැකි බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු කියා සිටියේ නොරොච්චෝලේ තාප බලාගාරය යථා තත්ත්වයට පත් කර අද පස්වරුව වන විට ජලය පිරවීමේ කටයුතු ආරම්භ කරන බවයි.

හෙට උදෑසන සිට නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන කටයුතු ආරම්භ කර දැනට ජාතික විදුලිබල සැපයුමේ පවතින මෙගාවොට් 400ක අඩුව පිරවිය හැකි බවයි ඔහු කියා සිටියේ.

නොරොච්චෝලේ තාප බලාගාරයෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් එක් කෙරෙනවා.

දිනකට පැය හතහමාරක විදුලිය කප්පාදුවක් සිදුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළා.

ඒ අනුව පෙරවරු 7.00 සිට දහවල් 12.30 දක්වාත්, පස්වරු 6.00ට රාත්‍රී 8.00 දක්වාත් රාත්‍රී 8 සිට රාත්‍රී 10.00 දක්වාත් ඒ ඒ කලාපවලට විදුලිය කපා හැරෙන බවයි විදුලිබල මණ්ඩලය නිවේදනය කළේ.

පසුගිය ඉරිදා දිවයින පුරා විදුලිය බිද වැටීමත් සමඟ නොරොච්චෝලේ තාප බලාගාරය යළි අක්‍රිය වුණා.

ඒ සමගයි විටින් විට විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලයට සිදුවුණේ.

විදුලිය බිද වැටීම පිළිබද සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත් කළ විශේෂ කමිටුව ඊයේ පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේදී රැස්වුණා.

විෂය භාර අමාත්‍යවරයාට අමතරව අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, සාගල රත්නායක මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරා සහ  ඉරාන් වික්‍රමරත්න මෙම කමිටුවට ඇතුළත්.

කෙසේ වෙතත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී තවදුරටත් කියා සිටියේ මෙම කමිටුවේ වාර්තාව ලබන අඟහරුවාදා ජනාධිපතිවරයාට ලබාදෙන බවයි.