Update : මුල්තැන ගත්තෝ කියන කතා

Saturday, 19 March 2016 - 18:43

Update+%3A++%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විශිෂ්ඨතම ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිවුණේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ සත්සරණි හෙට්ටිආරච්චිටයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය ඇයගෙන් කරුණු විමසුවා.

එදිනෙදා අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකළ තමන්ට විශිෂ්ඨ ප්‍රතිඵලයක් පිළිබඳ බලාපොරොත්තුවක් පැවති බවයි සත්සරණි ප්‍රකාශකළේ.

කොළඹ නාලන්දා විද්‍යාලයේ කේ කේ සමල් පුන්සරට මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් දෙවන තැන හිමිවුණා.

ඔහුගේ නිවුන් සොහොයුරාද මෙවර විභාගයෙන් ඒ සාමාර්ථ 9 ක් ලබාගෙන තිබීම විශේෂත්වයක්.  

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ මලීනා රත්නායක සහ මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉන්දීවරී උමයංගා රත්නායක යන සිසුවියන් දෙදෙනා මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් තුන්වන ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

මහාමායා බාලිකාවේ ඉන්දීවරී රත්නායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අවම වශයෙන් උපකාරක පන්තිවල සහය ලබාගත් තමන් දිනකට පැය 3 ක් පමණ පාඩම් කර මෙම ජයග්‍රහණය ලබාගත් බවයි.


-----------------------------------------------------------------------------------------------------
SATUDAY 19 MARCH 2016  18.43

2015 සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දෙවන සහ  තුන්වන ස්ථාන මේවන විට ප්‍රකාශයට පත්වී තිබෙනවා.

ඒ අනුව පළමු ස්ථානය හිමිවී ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ එස් සත්සරණී හෙට්ටිආරච්චිටයි.

දෙවන ස්ථානය කොළඹ නාලන්දා විද්‍යාලයේ කේ කේ සමල් පුන්සරට හිමිව තිබෙනවා.

2015 සාමාන්‍ය පෙළ විභාගයේ නිකුත්වු ප්‍රතිඵලවලට අනුව තුන්වන ස්ථාන දෙකක් වාර්තා වනවා.

ඒ කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ආර් මලීනා රත්නායක සහ මහනුවර මහාමායා විද්‍යාලයේ ඉන්දීවරී උමයංගා රත්නායකයි.

හතරවන ස්ථානය කොළඹ නාලන්දා විද්‍යාලයේ එච් එම් රනිඳු හේරත්ටයි.

කොළඹ ආනනන්ද විද්‍යාලයේ නෙවිඳු අමරජිත් වල්පිට මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ හොඳම ප්‍රතිඵල ලබාගත් පස්වැන්නා බවට පත්ව තිබෙනවා.

6 වන ස්ථානයට පත්වී ඇත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ එස් ජේ හිරුෂ නෙත්සරයි.

හත්වන ස්ථාන දෙකකට සාමාන්‍ය පෙළ හපනුන් දෙදෙනෙකු පත්වී තිබෙනවා.

ඒ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ ඒ තරුණි අංජලිකා සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ දිනෙත් සංජුල ජයකොඩි සිසුවායි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ හොඳම ප්‍රතිඵල ලබාගෙන 8 වන ස්ථානයට සිසුන් තුන් දෙනෙකු පත්වී තිබෙනවා.

කොළඹ ආනන්ද විද්‍යාලයේ චතුරංග න්‍ිජයසිංහ / ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ අමායා නානායක්කාර සහ මාතර රාහුල විද්‍යාලයේ යසස්වින් වෙල්ලප්පුලි එම තිදෙනායි.

2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (19) පස්වරුවේ අන්තර්ජාලය වෙත මුදා හැරියා.

පසුගිය වර පැවති සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් පන් ලක්ෂ 36,152 ක් පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ප්‍රතිඵල සම්බන්ධයෙන් විමසීමක් වෙතොත් 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ 0112 - 784 208 / 0112 - 784 537 / 0113 - 188 350 / 0113 - 140 314 යන දුරකතන අංකවලින් විමසිය හැකියි.

කොළඹ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල හෙට (20) දින පෙරවරු 10 න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවෙන් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත නිකුත් කෙරෙනු ඇති.

 අනෙකුත් සියලූම පාසල් වෙත ප්‍රතිඵල ලේඛණ හෙට (20) දිනම තැපැල් කරන අතර, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් කිරීමටයි නියමිතව ඇත්තේ.

කිසියම් අපේක්ෂකයෙකු නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් ලබන අප්‍රේල් මස 20 වන දිනට පෙර අයදුම්පත්‍ර විභාග දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

පාසල් අයදුම්කරුවන් සඳහා වන නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛණ සමඟ විදුහල්පතිවරුන් වෙත යවන අතර, පෞද්ගලික අයදුම්කරුවන් ඉදිරියේදී ජාතික පුවත්පත පළ කරනු ලබන දැන්වීම් අනුව නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර සම්පූර්ණ කර එවිය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.