උත්සව සමයේ විදුලිය විශේෂ වෙයි

Sunday, 20 March 2016 - 19:17

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එළඹෙන අලූත් අවුරුදු සහ වෙසක් උත්සව සමයේදී අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ පවසනවා.

ඔහු කියා සිටියේ ඒ සඳහා ඉදිරියේදී පෞද්ගලික අංශයේ ඞීසල් බලාගාර හැකිතාක් මිලදී ගැනීමට  අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත්, විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි ප්‍රකාශ කළේ මෙම ඞීසල් බලාගාර පසුගිය වසරේදී මීට වඩා අඩු මිලකට මිලදී ගැනීමට හැකියාව තිබු බවයි.

එහෙත් මහජන උපයෝගීතා කොමිසම ඊට මැදිහත් නොවීම හේතුවෙන් එය සිදු කිරීමට නොහැකි  වු බවයි ඔහු කියා සිටියේ.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කරන මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මහජන උපයෝගීතා කොමිසමෙන් විමසීමක් කළා.

එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ සදහන් කළේ ඞීසල් බලාගාර සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය කිසිදු දැනුම්  දීමක් කර නොමැති බවයි.

මේ අතර, මිනුවන්ගොඩ, කොටුගොඩ ප්‍රදේශයේදී පසුගිය දා පුපුරා ගිය ට්‍රාන්ස්ෆෝමරය සදහා අතිරේක ට්‍රාන්ස්ෆෝමරයක් නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමක දී  ඔහු කියා සිටියේ බියගම පුපුරා ගිය ට්‍රාන්ස්ෆෝමරය යථා තත්වයට පත් කිරිමේ කටයුතු අද අවසන් වන බවයි.

පසුගිය දා පුපුරා ගිය ට්‍රාන්ස්ෆෝමරවල කොටස් ජපානයට යවමින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද පස්වරුවේ අමාත්‍යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

මේ අතර, විදුලිය උත්පාදනය කිරීම සදහා ජලය සැපයෙන ප්‍රධාන ජලාශ කිහිපයකම ජල ධාරීතාව සීඝ්‍ර ලෙස පහත බැස තිබෙනවා.

කොත්මලේ ජලාශයේ සක්‍රීය ධාරිතාව සටහන් වන්නේ සමස්ත ධාරිතාවයෙන් සියයට 25 යි දශම 3 ක් ලෙසයි. වික්ටෝරියා ජලාශයේ සක්‍රීය ධාරිතාවය සමස්ත ධාරිතාවයෙන් සියයට 53 යි දශම 7 ක් ලෙස සටහන් වන අතර රන්ටැබේ ජලාශයේ සක්‍රීය ධාරිතාවය සියයට 5 යි දශම 3 ක් ලෙස සටහන් වනවා.

කාසල්රී ජලාශයේ සක්‍රීය ධාරිතාවය සියයට 26 යි දශම එකයි.

මාවුස්සාකැලේ සක්‍රීය ධාරිතාවය සටහන් වන්නේ සියයට 39 යි දශම 4 ක් ලෙසයි.