නොරොච්චෝලේට ආදේශකයක්

Saturday, 26 March 2016 - 13:00

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%9D%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නොරොච්චෝලේ තාප විදුලිබලාගාරයේ සිසිලන පද්ධතිය සඳහා විදුලිය සැපයීමට තවත් විදුලි බලාගාරයක් එක් කිරීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

තාප විදුලි බලාගාරය ස්වයංක්‍රියව අක්‍රිය වන අවස්ථාවක එය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවම වශයෙන් දින 3 ක් හෝ 4 ක් ගතවනවා.

එය මග හරවා ගනිමින් යළි නොරොච්චෝලේ තාප බලාගාරය කඩිනමින් සක්‍රිය කිරීම සඳහායි අමතර විදුලි බලාගාරයක් එක් කිරීමට තීරණය කර ඇත්තේ.

දැනට දිවයිනට බලපා ඇති වියලි කාලගුණ තත්ත්වය හමුවේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම අඩුවී තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශය ඊයේ දිනයේදී ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට පැන් පූජාවක්ද සිදුකළේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට වර්ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින්.

එම අවස්ථාවට එක්වෙමින් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ සිසිලන පද්ධතිය සඳහා මෙලෙස තවත් බලාගාරයක් එක් කරන බවයි.

මේ අතර, විදුලි ශ්‍රමදාන සතිය අදින් ආරම්භ වනවා.

සමාරම්භක අවස්ථාව අනුරාධපුර පූජා නගරයේදී අද සිදු කෙරුණේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන්.

දැනට දිවයින පුරා කිලෝමීටර් ලක්ෂ දෙකහමාරකට ආසන්න විදුලි රැහැන් පද්ධතියක් පවතිනවා.

එය නිසි ලෙස නඩත්තු කරමින් පාරිභෝගිකයන්ට විශිෂ්ඨ සේවාවක් ලබාදීම අදින් ආරම්භවන විදුලි ශ්‍රමදාන සතියේ අපේක්ෂාවයි.

එමෙන්ම පසුගිය දිනවල විවිධ තාක්ෂණික දෝෂවලට ලක්වූ බියගම විදුලි උප පොල සහ කොටුගොඩ විදුලි මධ්‍යස්ථානය ජර්මනියෙන් පැමිණි විශේෂඥ කණ්ඩායමේ නිරීක්ෂණයට ලක්වුණා.

එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ බියගම විදුලි උප පොල ඉතා පැරණි උප පොලක් බැවින් එය ප්‍රතිසංස්කරණය කිරීමට කාලය එළඹ ඇති බවයි.

ඔවුන් ලබාදුන් උපදෙස් අනුව ඉදිරියේදී කටයුතු කරන බවයි විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.