ජනපති ජී 7 සමුළුවට

Sunday, 17 April 2016 - 12:49

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B7%93+7+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ලොව බලගතු රාජ්‍ය හතේ ජී හත සමුළුව සඳහා ආරාධිතයෙකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ලබන මස ජපානය බලා පිටත්ව යනවා.

ජනාධිපතිවරයාට මෙම ආරාධනාව සිදුකර ඇත්තේ ජපාන අගමැති ෂින්සෝ අබේ විසින්.

ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානය යන ලොව බලගතුම කාර්මික රටවල් හතේ සන්ධානය සමඟ රටවල් 28 කින් සමන්විත යුරෝපා සංගමයද සමුළුව සඳහා එක්වනු ඇති.

මෙය හතළිස් දෙවන වාර්ෂික ජී හත සමුළුව වන අතර, ඒ සඳහා ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් හතකට ආරාධිත මට්ටමෙන් සහභාගිවීම සඳහා ඇරයුම් ලැබී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගි වනු ඇත්තේ සමුළුවට සමගාමීව පැවැත්වෙන ජී හත සාමාජිකත්වය නොදරණ ආරාධිත රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන සහභාගි වන සමුළුවටයි.

ජී හත සමුළුව සඳහා මෙරට රාජ්‍ය නායකයෙකුට ඇරයුම් ලැබී ඇත්තේ ප්‍රථම වතාවට බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

අස්ථාවර ලෝක ආර්ථිකය, නැගී එන වෙළඳපොල සහ තෙල් මිලෙහි කඩාවැටීම ඇතුලූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

මෙම සමුළුව සඳහා සහභාගි වන ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මීට වසර 71 කට පෙර දෙවන ලෝක යුද්ධයේදී ඇමරිකාව න්‍යෂ්ටික බෝම්බ හෙලූ හිරෝෂිමා සහ නාගසාකි නගරවල සංචාරයක නිරතවනු ඇති.

ජපානයේ පැවැත්වෙන ජී හත සමුළුවට සමගාමීව ජනාධිපති බැරැක් ඔබාමා සහ ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක්ද සිදුවීමට ඉඩ ඇති බවයි රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළේ.