පොලිස්පති තේරීමට පාඨලී එපා

Monday, 18 April 2016 - 13:20

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A8%E0%B6%BD%E0%B7%93++%E0%B6%91%E0%B6%B4%E0%B7%8F

නව පොලිස්පතිවරයා තෝරා පත් කරගැනීමට අද පාර්ලිමේන්තුවේදී රැස්වන ව්‍යවස්ථා සභාවට අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගි කර නොගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් සහ කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ අමාත්‍ය පාඨලී චම්පික රණවකට යම් යම් වැරදි සම්බන්ධයෙන් දැනටමත් චෝදනා එල්ලවී ඇති බවයි.

එම නිසා එවැනි පුද්ගලයෙකු නව පොලිස්පතිවරයා තෝරාගැනීමේ කාර්යයට සහභාගි වීම සාධාරණ නොවන බවද ඔහු සඳහන් කළා.

 රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට පත් කළ බවට අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.

නව පොලිස්පතිවරයා කවුරුන්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ව්‍යවස්ථා සභාව අද පස්වරු තුනට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතයි.

ව්‍යවස්ථා සභාව 10 දෙනෙකුගෙන් සමන්විතයි.

කථානායකවරයාට අමතරව ව්‍යවස්ථා සභාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, විජේදාස රාජපක්ෂ සහ ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ද නියෝජනය කරනවා.  ඒ.ටී. ආරියරත්න, රධිකා කුමාරස්වාමි සහ සිබ්ලි අසීස් ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන්.

හිටපු පොලිස්පතිවරයා විශ්‍රාම ගැනීමෙන් පසු නව පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර, එස්.එම්. වික්‍රමසිංහ සහ චන්දන වික්‍රමරත්නගේ නම් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථා සභාව වෙත එවා තිබුණා.

එම තුන්දෙනා අතුරෙන් පොලිස්පතිවරයා කවුරුන් ද යන්න පිළිබදව අද රැස්වන ව්‍යවස්ථාව සභාව අවසන් නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතයි.

පොලිස්පති ධුරය සඳහා යෝජනා කර ඇති නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන්දෙනා අද දිනයේ ව්‍යවස්ථා සභාව  හමුවේ පෙනී සිටීමටද නියමිතයි.