මීලඟ පොලිස්පති ලෙස පුජිත් ජයසුන්දර නිර්දේශ වෙයි

Monday, 18 April 2016 - 16:34

%E0%B6%B8%E0%B7%93%E0%B6%BD%E0%B6%9F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B7%94%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මෙරට 34 වන පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරගේ නම ව්‍යවස්ථා සභාව නිර්දේශ කර තිබෙනවා. ඒ, අද පස්වරුවේ රැස්වූ එම සභාවේ බහුතර සාමාජිකයින්ගේ එකඟතාව මතයි.

හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් පසුගිය 11 වන දා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වූ පොලිස්පති ධූරය සඳහා ජනාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකුගේ නම් ව්‍යවස්ථා සභාව වෙත යෝජනා කර තිබුණා.

එලෙස නම් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වූයේ දැනට වැඩ බලන පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්නයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පොලිස්පති ධූරය සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම ව්‍යවස්ථා සභාව විසින් සිදුකළ යුතු වනවා.

ඒ සඳහා ව්‍යවස්ථා සභාව රැස්වුණේ අද පස්වරු 3යි 5ටයි.

කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්ගෙන් 8 දෙනෙකු එක්ව සිටි බව සදහන්.

ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයින් වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ සිබ්ලි අසීස් ඊට සහභාගි වී නැහැ.

අද පැවැති ව්‍යවස්ථා සභා රැස්වීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක එක් කර නොගන්නා ලෙසයි ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවකට යම් යම් වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිසා නව පොලිස්පතිවරයා තෝරා ගැනීමේ කාර්යයට ඔහු එක් කර ගැනීම සාධාරණ නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියා.

කෙසේ නමුත්, අද පැවැති රැස්වීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක ද සහභාගි වූ බව ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

නව පොලිස්පති ධුරය සඳහා යෝජනා වී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුන්දෙනා ද වෙන වෙනම ව්‍යවස්ථා සභා රැස්වීමට සහභාගි වූ බවයි කථානායක කාර්යාලය සදහන් කළේ.

නව පොලිස්පති ධුරය සඳහා යෝජනා වී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගෙන් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන් සිටි වැඩබලන පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මේ වන විට පොලිස් මූලස්ථානයේ ආරක්ෂක දිසාව භාරව කටයුතු කරනවා.

ජනාධිපති ආරක්ෂක අංශය ඇතුළු සියලූ ප්‍රභූ ආරක්ෂක අංශ ඔහු යටතේ පැවැති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ද ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියා ලෙස ද ඔහු කටයුතු කළා.

විශ්‍රාම යාමට ඔහුට ඉතිරිව ඇත්තේ තවත් වසර 3ක කාලයක්.

පොලිස්පති ධුරයට ව්‍යවස්ථා සභාව අද නිර්දේශ කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මේ වන විට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අතර, ඔහුට තවත් ඉතිරිව ඇති සේවා කාලය වසර 3යි මාස 10ක්.

නව පොලිස්පති ධුරයට යෝජනා වී සිටි නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙන්ම සබරගමු පළාතේ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන අතර, ඔහුට විශ්‍රාම යාමට තවත් වසර 6ක කාලයක් ඉතිරිව පවතිනවා.

කෙසේ වෙතත්, ව්‍යවස්ථා සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් නව පොලිස්පතිවරයා පත් කරනු ඇති.