ධීවර අමාත්‍යාංශය තහනමේ පැටලේ

Tuesday, 19 April 2016 - 18:26

%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB++%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%9A
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන තහනම අනිද්දා සිට ඉවත් කිරීමට යුරෝපා සංගමය තීරණය කළ බව ප්‍රකාශ කළ ධීවර අමාත්‍යාංශය ඊට පැය කිහිපයකට පසු එය එසේ නොවන බව අද ප්‍රකාශ කළා.

ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයාගේ අත්සනින් අද පස්වරුවේ ඔවුන් පළමුව නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන් වුණේ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන තහනම් කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය ගෙන ඇති තීරණය මේ මස 21 වනදා ඉවත් කිරීමට නියමිත බවයි.

එය යුරෝපා සංගමය දැනුම්දී ඇති බවද එහි සඳහන් වුණේ අනිද්දා පස්වරු 3.30 ට ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්ද තිස්සමහාරාමයේ හෝටලයකදී ධීවර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවද සඳහන් කරමින්.

පසුව අප ධීවර අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයෙන්ද මේ පිළිබඳව කරුණු විමසූ අතර, එහි ප්‍රකාශිකාවකද මෙම පුවත තහවුරු කළා.

එහෙත් පළමු  නිවේදනයෙන් පසුව යළි නිවේදනයක් නිකුත් කරමින් ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන සම්බන්ධයෙන් යුරෝපා සංගමය පනවා ඇති තහනම පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පමණක් අනිද්දා පැවැත්වෙන බවයි.

එහි ප්‍රතිඵලය කලින් සඳහන් කළ මාධ්‍ය හමුවේදී දැනුම්දෙන බවද අදාළ නිවේදනයේ දැක්වුණා.

දෙවන මාධ්‍ය නිවේදනයෙන් පසු ධීවර අමාත්‍යාංශය යළි තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

ප්‍රථම නිවේදනයේ අදාළ තහනම ඉවත් කිරීමට නියමිත බව යුරෝපා සංගමය දැනුම්දී ඇති බව අවධාරණය කළ ධීවර අමාත්‍යාංශය අවසන් නිවේදනයේ සඳහන් කර තිබුණේ ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.