ලංකාවට තවදුරටත් ඇමරිකාවේ සහය

Friday, 29 April 2016 - 13:10

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික වර්ධනයක් උදෙසා තවදුරටත් උපරිම සහය ලබාදෙන බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිතවරිය වන සමන්තා පවර් මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෙළඳ සහ ආයෝජන සැළසුම් එකඟතා මණ්ඩලයේ රැස්වීමෙන් අනතුරුවයි.

නිව්යෝක් නුවර පැවති එම රැස්වීමේදී අදහස් දැක්වූ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනිය කියා සිටියේ ශ්‍රී ලංකාවේ වත්මන් රජය පසුගිය මාස 16 ක කාලය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන සිටින බවයි.

තිරසාර සාමය ප්‍රජාතන්ත්‍රවාදයේ වගකීම සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ නව සබඳතා ගොඩනගාගැනීමේදී ශ්‍රී ලංකාව මෙලෙස ඉදිරියට පැමිණ ඇති බවයි ඇය සඳහන් කළේ.

භීතියේ වාතාවරණය ඉවත්ව ගොස් ඇති අතර දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියද සාර්ථකව සිදුවන බවයි ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිනිය සඳහන් කළේ.

සියලූම ශ්‍රී ලාංකිකයන්ට යුක්තිය සහ සංහිඳියාව ඇති කරන ක්‍රියාවලියකට ශ්‍රී ලංකාව යොමුවී සිටින අතර එහිදී ඇතිවන අභියෝගයන් හමුවේ සහයවීම සඳහා ඇමරිකාව ඉදිරිපත්ව සිටින බව තානාපතිනි සමන්තා පවර් අවධාරණය කළා.

මේ අතර එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනෙකු අද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නීතිය සහ අධිකරණ පද්ධතිය පිළිබද විශේෂ නියෝජිත මොනිකා ප්‍රින්ටො සහ මානව හිමිකම් සහ නීත්‍යානුකූල නොවන දඩුවම් සම්බන්ධයෙන් විශේෂ නියෝජිත ජුවාන් ඉ මෙන්ඩිස් එම නියෝජිතයන් දෙදෙනායි.