අධිකරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි

Sunday, 08 May 2016 - 7:43

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇති බව සැළකෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා අධිකරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍ය බව ජගත් සංවිධාන නියෝජිතයන් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ වදහිංසා පැමිණවීම සහ අධිකරණ ස්වාධීනත්වය සම්බන්ධ ජගත් සංවිධාන නියෝජිතයන් දෙදෙනා මේ බව කියා සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අධිකරණයේ සහ නීතීඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ සහ පහරදීම්, අමානුෂික වදබන්ධන පිළිබඳ විශේෂ නියෝජිත යුවාන් මෙන්ඩෙස් සිය ශ්‍රී ලංකා සංචාරයේදී උතුර, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල සංචාරය කරමින් රැඳවුම් කඳවුරුද නිරීක්ෂණය කළා.

ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔවුන් කියා සිටියේ මෙරට අධිකරණ ක්‍රමයේ පවතින දුර්වලතා හේතුවෙන් මානව හිමිකම් උල්ලංඝනය වීම් තවදුරටත් සිදුවන බවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ යුද සමය තුළ පැවති ආකාරයේ වද හිංසා පැමිණවීම්වල අඩුවීමක් නිරීක්ෂණය කළ බව ජගත් සංවිධාන විශේෂ නියෝජිත යුවාන් මෙන්ඩෙස් එහිදී කියා සිටියා.

ජගත් සංවිධාන නියෝජිතයන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ යුද්ධයේදී සිදුවූ බව කියන අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජගත් සංවිධානයේ නිර්දේශ අනුව විදේශීය විනිසුරුවන් ඇතුළත් යාන්ත්‍රණයක් සකස් කිරීමට ශ්‍රී ලංකාව පසුගිය වසරේදී එකඟ වූ බවයි.

යුද්ධයේ දෙපාර්ශවය අතින් සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට රජය එහිදී ප්‍රතිඥා දුන්නා.

යුද්ධය අවසන් වී පැවති රජය වෙනස්වී ඇතත් අදාළ වෙනස්කම් මෙතෙක් මුළුමනින්ම සිදුවී නොමැති බව අධිකරණ සහ නීතීඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මොනිකා පින්ටෝ අවධාරණය කළා.