වැට් වැඩිවීම වතුර බිලටත් - දුරකථන බිලත් අධිකරණයට

Tuesday, 10 May 2016 - 14:52

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+-++%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7
පසුගිය මැයි මස 02 වනදා සිට ඉහළ නැංවූ වැට් බද්ද මේ මාසයේ සිට ජල බිල්පතටද එක්කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මෙතෙක් ජල බිල්පතට එක්කර තිබූ 11% වැට් බද්ද මේ මස සිට 15% ක් වන බවයි.  

මේ අතර, ඉහළ දැමූ වැට් බද්ද දුරකථන සේවා සදහා ක්‍රියාත්මක කිරීම මගින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.

නීතිඥවරයෙකු විසින් ගොනුකළ මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ මේ වනවිටත් දුරකථන සදහා ජාතිය ගොඩනැගීමේ බද්ද ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව, වැට් බදු සංශෝධනය දුරකථන සේවා මත පැනවීම අසාධාරණ බව සදහන් කළ පෙත්සම්කරු මුදල් අමාත්‍යවරයා සහ නීතිපතිවරයා එහි  වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

වැට් බදු සංශෝධනය සහ ජී.එස්.පී ප්ලස් බදු සහනය පිළිබදව කොළඹ අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද අදහස් පළ වුණා.

කෙසේ වෙතත්, ඉහළ නැංවූ වැට් බදු සංශෝධනය ජල බිල්පතට එක් කරන්නේ ද නැද්ද යන්න පිළිබදව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

එහෙත්, ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එහි නායක අනුර කුමාර දිසානායක චෝදනා කළේ ආණ්ඩුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ල මත බදු පනවා ඇති බවටයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය ද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් වැට් බදු සංශෝධනය පිළිබදව අදහස් පළ කළා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රජයට යෝජනා 3 ක් ඉදිරිපත් කළේ  බදු බර අඩු කිරීමට ඒවා වැදගත් වන බව සඳහන් කරමින්.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැට් බදු සංශෝධනය පිළිබදව  අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ රටේ ආර්ථික තත්ත්වය ගොඩගැනීම සඳහා ජනතාවට අවම බලපෑමක් වන අයුරින් බදු පැනවීමට සිදුව ඇති බවයි.