නිරිතදිග මෝසමත් සක්‍රිය වෙයි - ස්ථාන 661 ක නායයෑමේ අවදානම්

Tuesday, 24 May 2016 - 13:21

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+661+%E0%B6%9A++%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
අයහපත් කාලගුණයෙන් අවතැන්වූ පුද්ගලයින් එක්ලක්ෂ විසි දහස් 129 දෙනෙකු තවදුරටත් ආරක්ෂිත කඳවුරු 263 ක රැඳී සිටිනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ මේ වනවිට පුද්ගල මරණ 94 ක් වාර්තාවී තවත් 107 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි.

අයහපත් කාලගුණය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 94 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා.

කැලණි ගඟේ ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වූවත් බස්නාහිර පළාතේ පවුල් 38271 අයත් පුද්ගලයින් එක්ලක්ෂ 70 872 ක් තවමත් දිවි ගෙවන්නේ ආරක්ෂිත කඳවුරුවලයි.

මේ අතර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ආපදා කළමනාකරන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ මේ වනවිට රටවල් රැසකින් අවතැන්වූවන්ට ආධාර  ලැබී ඇති බවයි.

ගං වතුරෙන් අපවිත්‍ර වූ ළිං පිරිසිදු කිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව  මාධ්‍ය හමුවට එක්වූ වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා ප්‍රකාශ කළා.

මාධ්‍ය හමුවට එක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ ආර්.එම්.එස්. බණ්ඩාර කියා සිටියේ දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 661 ක නායයාමේ අවදානම් පවතින බව ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්දී ඇති බවයි.

මේ අතර අයහපත් කාලගුණයෙන් හානියට පත් කුඹුරු අක්කරයක් සඳහා රුපියල් දසදහසක මුදලක් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 ආපදා තත්ත්වය පහව යාමත් සමඟ ඇති විය හැකි සෞඛ්‍ය ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ වසංගත රෝග තත්ත්වයන් ඇතිවීම සෞඛ්‍ය අංශ විසින් මේ වනවිට පාලනය කර ඇති බවයි.  

මේ අතර නිරිතදිග මෝසම් තත්ත්වය ශ්‍රී ලංකාව ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසනවා.

ඒ අනුව ඉදිරියේදී බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඌව සහ නැගෙනහිර පළාත්වලට පස්වරු 2න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ත් 100ත් අතර තද වැසි ඇති විය හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ද ක්ෂණිකව ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ මඩකලපුව සිට පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යාමේ අවධානමක් ද පවතිනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රලු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා ඉහළ යාමේ හැකියාවක් ද පවතිනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රලු වන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.