අරණායක මෙහෙයුම් අවසන් (ඡායාරූප)

Thursday, 02 June 2016 - 14:57

%E0%B6%85%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අරණායක - සාමසර කන්ද නායයාමෙන් පස්කන්දට යටවූ පුද්ගලයන් සොයා සිදුකරන මෙහෙයුම් අද (02) නතර කෙරුණා.

මෙහෙයුම් භාර නිලධාරි බස්නාහිර පළාත් ආඥාපති මේජර් ජනරාල් සුදන්ත රණසිංහ සදහන් කළේ දින 15 ක් පුරා සිදුකළ මෙහෙයුම්වලින් අතුරුදන්වූවන්ගේ මළ සිරුරු 27 ක් සහ ශරීර කොටස් 21 ක් සොයා ගෙන ඇති බවයි.

තමන්ට ලද තොරතුරු අනුව තවත් පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් අතුරුදන්වී සිටින බව ද ඔහු කියා සිටියා.

අරණායක ප්‍රාදේශීය ලේකම් සාම් ෆයිසර් මීට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ නායයාමෙන් නිවාස 80 ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ බවත්, පුද්ගලයින් 144 දෙනෙකු  අතුරුදන්වී සිටින බවයි.

මේ අතර, මියගිය පුද්ගලයින්ට පිං පැමිණවීම හා අවතැන්වූවන්ට සෙත් පතා පිංකම් මාලාවක් අද (02) සිදුකෙරුණා.

ඒ අරණායක හත්ගම්පොල මධ්‍ය මහා විද්‍යාලයේදීයි.

අප වාර්තාකරු සදහන් කළේ ඊට භික්ෂුන් වහන්සේලා 60 නමක් සහ ප්‍රදේශවාසීන් ද සහභාගි වූ බවයි.

පසුගිය මැයි 17 වැනිදා අරණායක සාමසර කන්ද නායයාමෙන් විපතට පත්වූවන් තවමත් ප්‍රදේශයේ පාසල් කිහිපයක සහ විහාරස්ථාන කිහිපයක රදවා සිටිනවා.

කෙසේ වෙතත්, අවතැන්වූවන් යළි පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙන තුරු ඒ සදහා හමුදා සහාය ලබාදෙන බවයි මේජර් ජනරාල් සුදන්ත රණසිංහ වැඩිදුරටත් සඳහන් කළේ.



ඡායාරූප - හෙම්මාතගම සමන් විජය බංඩාර