TNA ජිනීවා මානව හිමිකම් කොමිසමට

Sunday, 05 June 2016 - 8:16

TNA+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
ජගත් මානව හිමිකම් කොමිසමේ 32 වන සැසිවාරයට සහභාගිවීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් ජිනීවා නුවර බලා යාමට සූදානම් වන බව ආරංචි මාර්ග සඳහන් කළා.

මෙවර සැසිවාරය ජූනි 13 වනදා සිට ජූලි පළමුවනදා දක්වා පැවැත්වෙනවා. එමෙන්ම ජූනි 6 වනදා සිට ජූනි 30 වනදා දක්වා විශේෂ රැස්වීම් කිහිපයක් ජිනීවා හිදී පැවැත්වෙන අතර, එහිදී  වාර්තා රැසක් ගොනු කිරීමට නියමිතයි.

ජගත් සංවිධාන විශේෂ නියෝජිතයන්ගේ සහ මානව හිමිකම් මණ්ඩල ක්‍රියාකාරී කණ්ඩායමේ වාර්තාද ඊට ඇතුළත්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් දෙදෙනෙකු පසුගිය කාලය තුළ සංචාරය කළ අතර, මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ඇගයීමක් සිදුකළා.

ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුද පසුගිය පෙබරවාරියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවුණා.

ශ්‍රී ලංකාව පිිළිබඳව සම්මත කරගැනුනු ජිනීවා යෝජනාව ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සොයා බැලීමද එම චාරිකාවේ අරමුණක්.

ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා මෙවර සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ වාචික වාර්තාවක්ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජිනීවා බලා යන දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ද මුණ ගැසෙන අතර, වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව දෙමළ සන්ධාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.