ස්ථාවර නියෝග වෙනස් කිරීම ගැන තීරණය ලබන සතියේ

Sunday, 05 June 2016 - 12:58

%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වෙනස් කිරීම පිළිබදව සාකච්ඡා කිරීමට ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව ඉදිරි සතියේදී රැස්වීමට නියමිතයි.

කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ස්ථාවර නියෝග පිළිබද කාරක සභාව රැස්වනු ඇති.

 මීට පෙර ස්ථාවර නියෝග වෙනස් කිරීම පිළිබදව කථානායකවරයා වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් වී තිබුණා.

පසුගිය කාලසීමාව තුළ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ විනය කඩ කිරීමේ සිද්ධි වලින් පසුව මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබදව වැඩිදුර අවධානය යොමුවී ඇති බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල සදහන් කළේ.

පාර්ලිමේන්තු සැසිවාර පවත්වාගෙන යාමේදී අනුගමනය කෙරෙන සියලූම ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ලබන සතියේ රැස්වීමට නියමිත ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවේ අවධානය යොමුවනු ඇති.

මහජන නියෝජිතයන් විනය කඩකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී පවතින දුර්වලතා පිළිබදව විශේෂයෙන් සලකා බැලීමට නියමිත බව සදහන්.

ඒ අනුව, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අභියෝග එල්ල වන පරිදි හැසිරෙන මහජන නියෝජිතයන්ට එරෙහිව ගනු ලබන විනය ක්‍රියාමාර්ග පුළුල් කිරීම පිළිබදව අවධානය යොමුවී තිබෙනවා.

ස්ථාවර නියෝග පිළිබද කාරක සභාවේදී සියලූ පක්ෂ නායකයන් මේ පිළිබදව සිය ස්වාධීන අදහස් ඉදිරිපත් කිරීමට නියමිතයි.

එමෙන්ම, සියලූම මහජන නියෝජිතයන්ගේ අදහස් ද මේ සදහා ලබා ගැනීමට නියමිත බව නියෝජ්‍ය මහලේකම්වරයා ප්‍රකාශ කළා.