බැසිල් රාජපක්ෂ ඇප මත මුදා හැරේ

Monday, 06 June 2016 - 16:10

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%87%E0%B6%B4+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B7%8A
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අද නැවතත් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පූගොඩ මහේස්ත්‍රාත් ඩී .ඒ. රුවන් පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.

ඒ, රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ හිටපු අමාත්‍යවරයා සෑම මසකම අවසන් ඉරු දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටි යුතු බවයි.

කඩුවෙල අධිකරණය භාරයේ ඇති ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයෙහි සහතික කළ පිටපතක් ලබාදෙන ලෙසට ද එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙම නඩුව ලබන අගෝස්තු 9 වන දා යළි කැදවීමට නියමිතයි.

අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යළි අත්අඩංගුවට ගනු ලැබුවේ මල්වාන ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 640ක් වටිනා ඉඩම් අක්කර 16ක සහ එම ප්‍රදේශයේ රුපියල් ලක්ෂ 1200ක් වටිනා නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදියි.