බස් ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

Monday, 11 July 2016 - 7:24

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
බස් ගාස්තු සංශෝධනය වන ආකාරය පිළිබඳ අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඊට අදාළ සාකච්ඡාවක් බස් සංගම් සහ ප්‍රවාහන අමාත්‍යාංශය අතර අද පැවැත්වෙනවා.

ප්‍රකාශයට පත්  කෙරෙන නව බස් ගාස්තු සංශෝධනයන් හෙට රැස්වන අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජූලි පළමුවනදා සිදුවිය යුතු වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට 10 ත් 15 ත් අතර ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව පෞද්ගලික බස් හිමියන් පෙන්වා දුන්නා.

එමෙන්ම අවම බස් ගාස්තුව වන රුපියල් අට, රුපියල් දහය වියයුතු බවයි ඔවුන් කියා සිටියේ.

මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත්  කෙරුණු අතර, අද සාකච්ඡාව පැවැත්වෙන්නේ මෙම විද්වත් කමිටුව සහ බස් සංගම් අතරයි.

තමන් ඉල්ලා සිටින ගාස්තු සංශෝධනය අද දිනයේදී ලබා නොදුනහොත් පසුගියදා අත්හිටුවනු ලැබූ වර්ජන ක්‍රියාමාර්ගය යළි ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියා.

බස් ගාස්තු වැඩිවීමක් ලබා නොදීමට එරෙහිව පසුගිය ජූලි මස 4 වනදා පෞද්ගලික බස් රථ හිමියන් වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණත් එය ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

කෙසේ වෙතත්, බස් සංගම් අතර ද වාර්ෂික බස් ගාස්තු සංශෝධනය පිළිබඳව පවතින්නේ විවිධ අදහස්.