කැලෑ ගිනි තැබුවොත් වැඩ වරදියි

Wednesday, 13 July 2016 - 7:14

%E0%B6%9A%E0%B7%90%E0%B6%BD%E0%B7%91+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92
දේපළ සහ මිනිස් ජීවිත බේරාගැනීමේ අරමුණින් කැළෑ ගිනි තබන්නන්ට වෙඩි තැබීමේ බලය පවතින බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසනවා.

මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කාලය තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් වාර්තා වී ඇති කැලෑ ගිනි තැබීම් සංඛ්‍යාව 80 ක්.

පසුගිය දා බදුල්ල - ඇල්ල - කුඹල්වෙල රක්ෂිතයේ ගින්නක් හට ගත් අතර ඉන් අක්කර 2000ක් පමණ විනාශ වුණා.

මෙම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කළේ.

කැළෑ ගිනි තැබීම් වළක්වා ගැනීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මෙන්ම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ද එක්ව සිටියා.

එහිදී බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ධම්මික වීරසේකර සඳහන් කළේ කැළෑ ගිනි තබන්නන්ට වෙඩි තැබීමේ බලය පොලිස්පතිවරයාගේ සිට පොලිස් කොස්තාපල් දක්වා පවතින බවයි.

මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුවන මුවන් දඩයම් කිරීම පාලනයට තිරසාර සංවර්ධන හා වනජිවී අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

කතරගම වන්දනා සමය මේ වන විට ආරම්භ වී ඇති බැවින් මුවන් දඩයම් කිරීම බහුලව සිදුවන බවයි වාර්තා වන්නේ.