බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට

Monday, 18 July 2016 - 11:38

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අගෝස්තු 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල අද නියෝග කළා.

එමෙන්ම හිටපු අමාත්‍යවරයා සමඟ අත්අඩංගුවට ගත් දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්. රණවක ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි විනිසුරුවරයා නියෝග කළේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබුවේ දිවිනැගුම අරමුදල් සාවද්‍ය පරිහරණයට ලක් කිරීමේ චෝදනාව මතයි.

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා දිවිනැගුම අරමුදලේ මුදල් රුපියල් මිලියන 36ක් වැය කර ප්‍රාදේශීය සභා සදහා කොඩි කණු ලබාදීමෙන් හිටපු අමාත්‍යවරයා පොදු දේපළ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය උල්ලංගණය කළ බවට චෝදනා එල්ල වනවා.

මෙහිදී හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් බැසිල් රාජපක්ෂට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි නියෝග කළේ.

මේ අතර, කොළඹ කොටුවේ ආයෝජන ව්‍යාපෘතියක නිරත වන ඉන්දියාවේ ක්‍රිෂ් සමාගම රගර් ප්‍රවර්ධනය සඳහා ලබාදුන් රුපියල් මිලියන 70ක මුදලක් වංචා කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද ඇප මත මුදා හැරුණා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ සැකකාර මන්ත්‍රීවරයා රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමටයි.

මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය ගමන් බලපත්‍රය අධිකරණය භාරයට පත් කරන ලෙස දැනුම් දුන්නා.

එමෙන්ම බැංකු 4ක නාමල් රාජපක්ෂගේ නමින් ඇති ගිණුම් පරීක්ෂා කිරීමටයි ඇය රහස් පොලීසියට අවසර ලබාදුන්නේ.

මේ අතර, රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය මගින් වරෙන්තුවක් නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද ඉවත දැමුවා.

2006 වසරේදී සිදුවූ මිග් යානා ගනුදෙනුවක් නිසා රජයට පාඩුවක් සිදුවූ බවට විභාග වන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උදයංග වීරතුංග පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා තිබුණා.

එහෙත් නොතීසි භාරදීම සඳහා ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බැවින් අත්අඩංගුවට ගැනීමට අවසර ඉල්ලමින් මූල්‍ය අපරාධ කොට්ඨාශය මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 15 වන දායි.

කෙසේ වෙතත්, උදයංග වීරතුංග සැකකරුවෙකු ලෙස හඳුනාගෙන නොමැති බවයි මහේස්ත්‍රාත්වරිය අද සදහන් කළේ.

එමෙන්ම ඔහුට විදේශයක ලිපිනයක් ඇති බැවින් එම ලිපිනයට නොතීසි යවන ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කළා.