ශ්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට මූලික එකඟත්වය

Monday, 18 July 2016 - 18:54

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සකස් කිරීම ඇතුළු අවබෝධතා ගිවිසුම් 5කට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂියැං ලූං අද අත්සන් තැබුවා.

ඒ, සිංගප්පූරුවේ - ඉස්තානා මන්දිරයේදීයි. මෙම ගිවිසුම් මගින් වෙළඳ, නගර සංවර්ධන, සංස්කෘතික, රාජ්‍ය සේවා සහ කාර්මික හා වෘත්තීය පුහුණු අංශයන්ගේ වර්ධනයක් සහ නිපුණත්වයක් ලබා ගැනීමේ අවකාශ ශ්‍රී ලංකාවට හිමිවනු ඇති.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සකස් කිරීම සදහා කටයුතු ආරම්භ කිරීමේ එකඟතා ප්‍රකාශයට අත්සන් තැබුවේ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ සිංගප්පූරුවේ වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය එස්. ඊශ්වරන්.

බස්නාහිර මෙගා පොලිස් සංවර්ධන ක්‍රියාවලිය සඳහා වූ අවබෝධතා ගිවිසුමට මෙගා පොලිස් අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ සහ සිංගප්පූරු ජාත්‍යන්තර ව්‍යවසාය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටැන් සූන් කිම් අත්සන් තැබුවා.  

කලාපීය ගිවිසුම් මගින් ලබන වසර වන විට දකුණු ආසියාවේ දක්ෂිණ උප කලාපයට සහ සිංගප්පූරුවට ත්‍රෛපාක්ෂික සැලැස්මකට එක්වීමට හැකි වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළේ සිංගප්පූරුවේ රැෆල්ස් නාගරික සම්මන්ත්‍රණ කේන්ද්‍රයේදී අද පෙරවරුවේ පැවති දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුවේ ආරම්භක සැසිවාරය මුඛ්‍ය දේශනය අමතමින්.

සිංගප්පූරුව හා ඉන්දියාව අතර ඇති සීපා ගිවිසුම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එට්කා ගිවිසුම සහ ශ්‍රී ලංකාව සහ සිංග්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුම එම ගිවිසුම්වලට අයත් බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ.

එමගින් සියලූ පාර්ශවයන්ට ජය හිමි වන වාසිදායක පරිසරයක් නිර්මාණය වනු ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සිංගප්පූරු ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් අද පෙරවරුවේ මුණ ගැසුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජයීය වශයෙන් ඉහළ නැංවෙන නව සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සිංගප්පූරු රජයේ සහය අපේක්ෂා කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් සිංගප්පූරු ජනාධිපතිවරයා  ප්‍රකාශ කළේ දෙරට අතර සබදතා ශක්තිමත් කරලීමට ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සදහා පූර්ණ සහය ලබාදෙන බවයි.

මේ අතර, ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළද ගිවිසුම ක්‍රියාත්මක වීමත් සමගම දෙරටේ ආර්ථික හා සාමාජීය ජයග්‍රහණය රැසක් හිමිකර ගැනීමට හැකියාව ලැබෙන බව ද සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂියැං ලූං ප්‍රකාශ කළා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ අද උදෑසන ද්වි පාර්ශවික නිළ සාකච්ඡාවලට එක්වෙමින්.

ශ්‍රී ලංකාවේ සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ යහපත් ප්‍රතිපත්ති හේතුවෙන් සිංගප්පූරුව ඇතුළු විදේශ සමාගම් ගණනාවක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරලීමට කැමැත්ත පළ කරන බව ද සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළා.