ජනපති මොරගහකන්ද මහ වේල්ලේ නිධන් වස්තු තැන්පත් කරයි

Monday, 25 July 2016 - 11:40

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%84%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%84+%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මෙරට ක්‍රියාත්මක  වන විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය ලෙස සැළකෙන මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතියේ මහ වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම අද පෙරවරු 10.59 ට යෙදුනු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදුකරනු ලැබුවා.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු මැති ඇමතිවරුන් රැසක්ද එක්ව සිටියා.

ප්‍රථමයෙන් රැස්ව සිටි පිරිස සර්ව ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව පිරිත් දේශනා කිරීම මධ්‍යයේයි නිධන් වස්තු තැන්පත් කිරීම සිදුකරනු ලැබුවේ.  

මහවැලි සංවර්ධන සහ  පරිසර අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරනු ලබන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 555.7ක්.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එවකට කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයාව සිටි සමයේදී, එනම් 2007 වසරේදී මෙම ව්‍යාපෘතිය සඳහා මුල් ගල තැබුණා.

එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ 2012 වසරේදියි.

නූතන යුගයේ දැවැන්ත සංවර්ධන කටයුත්තක් වන මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය මගින් උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල  ඉඩම් අක්කර ලක්ෂ 3 ක් අලුතින් අස්වැද්දීමට හැකියාව පවතිනවා.

එමෙන්ම මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ පරාක්‍රම සමුද්‍රය මෙන් හයගුණයක විශාලත්වයෙන් යුත් ජලාශ දෙකක් ඉදිකර මෙගාවොට් 25 ක ජල විදුලි නිෂ්පාදනයකට ද රජය සැළසුම් කර තිබෙනවා.  

මෙම ව්‍යාපෘතිය මගින් ජාතික නිෂ්පාදිතයට ඇමරිකානු ඩොලර් මිලියන 30 ක ආදායමක් අපේක්ෂා කරන අතර ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකක්.

කළු ගඟ ජලාශයේ සිට මොරගහකන්ද ජලාශය දක්වා කිලෝමීටර 9 ක උමං මාර්ගයක්  ඔස්සේ ජලය ගෙන ගොස් එතැන් සිට කිලෝමීටර 67 ක් දුරින් පිහිටි හුරුළු වැව දක්වා මෙමඟින් ජලය ගෙන යනවා.

ඒ සඳහා කිලෝමීටර 26 ක් දිගින් යුත් උමං මාර්ගයක් ඉදි  කෙරෙනු ඇති.

මෙම ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ඉදි කිරීම 2018 වසරේදී අවසන් කෙරෙන අතර සම්පූර්ණ ව්‍යාපෘතිය නිම කෙරෙන්නේ 2020 වසරේදියි.