දිනක් තුළ ඝාතන 6 ක්

Monday, 25 July 2016 - 13:10

%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+6+%E0%B6%9A%E0%B7%8A
දිවයිනේ ප්‍රදේශ කිහිපයක දිනක් තුළ තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන් 6 දෙනෙකු ඝාතනය කර තිබෙනවා.

මඩකලපුව, මීටියාගොඩ, නවගමුව සහ අරලගංවිල යන ප්‍රදේශවලින් ඊයේ මෙම ඝාතන වාර්තාවූ අතර ඉන් මියගිය අය අතර කුඩා දරුවෙකු ද වනවා.

මඩකලපුව - වෙල්ලාවලි - කාකච්චිවට්ට ප්‍රදේශයේදී ඊයේ අලුයම එකම පවුලේ තුන්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද කලංවචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්වුණේ 24 හැවිරිදි කාන්තාවක්, 56 හැවිරිදි ඇගේ පියා සහ අවුරුද්දයි මාස 6 ක් වයසැති ඇයගේ කුඩා දැරියයි.

මියගිය මවගේ සහ දියණියගේ සිරුරු නිවස අසල ළිදක දමා තිබියදී සොයා ගැණුනා.

ඝාතනයට ලක්වූ 24 හැවිරිදි කාන්තාවගේ සැමියා පසුව පොලිසිය අත්අඩංගුවට ගත්තා.

මීටියාගොඩ - කලුපේ ප්‍රදේශයෙදී ඊයේ රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ 40 හැවිරිදි හික්කඩුව ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙක්.

මියගිය පුද්ගලයා එදින අවමංගල්‍ය උත්සවයකට සහභාගිවී සිය නිවසට පැමිණ සිටියදී  මෙම පහරදීම සිදුකර තිබෙනවා.

මීට දින කිහිපයකට පෙර තවත් පුද්ගලයෙකු සමග ඇති වූ බහින් බස්වීමක් මෙම ඝාතනයට හේතුවන්නට ඇති බවටයි මියගිය පුද්ගලයාගේ ඥාතීන් සැකකරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

නවගමුව - තුන්අදහේන ප්‍රදේශයේදී 45 හැවිරිදි පුද්ගලයෙකු ද ඝාතනය කර තිබුණා.

මියගිය පුද්ගලයා, මිත්‍රයෙකුගේ නිවසට පැමිණ සිටින අතරතුරදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ හේවාගම - කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනයට සම්බන්ධ 26 හැවිරිදි පුද්ගලයෙකු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මකයි.

මේ අතර, අරලගංවිල - දළුකාන ප්‍රදේශයේදී සැමියාගේ පහරදීමකින් 62 හැවිරිදි කාන්තාවක් මියගියා.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකාර සැමියා පොලීසිය අත්අඩංගුවටගෙන තිබෙනවා.