තැන වෙනස් කර ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන ඇරඹේ - නුවර පාරේ දැඩි රථවාහන තදබදයක්

Thursday, 28 July 2016 - 11:05

%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+-+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන සටන පාද යාත්‍රාව පේරාදෙණිය - ගලහ මංසන්ධිය අසලින් අද පෙරවරුවේ ආරම්භ වුණා.

මීට පෙර එය ගැටඹේ විහාරස්ථානය අසලින් ආරම්භ කිරීමට නියමිතව තිබුණත් විහාරස්ථානය අවට ප්‍රදේශයද මහනුවර නාගරික බල සීමාවට අයත්වීම හේතුවෙන් අදාළ ස්ථානයෙන් පා ගමන ආරම්භ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කළේ.

මහනුවර නගරයෙන් බැහැරව පා ගමන ආරම්භ කරන ලෙසට ඊයේ ඔවුන් වෙත අධිකරණය නියෝග කර තිබුණා.

ගැටඹේ විහාරස්ථානයට රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ආගමික වතාවත්වල නිරතවීමෙන් පසුවයි පා ගමනේ් ආරම්භක ස්ථානයට පැමිණියේ.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියා.

මේ වනවිට පා ගමන හේතුවෙන්  නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පිළිමතලාව සහ කඩුගන්නාව අතර ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් පවතිනවා.

පොලීසිය ප්‍රකාශ කළේ මහනුවරට පැමිණෙන වාහනවලට අඹේපුස්ස - කුරුණෑගල - ගලගෙදර ඔස්සේ පැමිණීමෙන් රථ වාහන පවතින ප්‍රදේශය මගහැර යා හැකි බවයි.  

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ජනසටන පාද යාත්‍රාව මාවනැල්ල නගරයට ඇතුළුවීම වළක්වාලමින් මාවනැල්ල මහේස්ත්‍රාත්වරයාද ඊයේ නියෝගයක් නිකුත් කළා.

කෙසේ වෙතත් අද අදාළ නියෝගය ඉවත් කරගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය අද අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.

එහිදී මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගයේ වෙනසක් සිදුකර නොමැති අතර නගර සීමාව සම්බන්ධයෙන් පොලීසිය තීරණයක් ගත යුතු බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව මාවනැල්ල - මහන්තේගම මංසන්ධියේ සිට උතුවන්කන්ද මංසන්ධිය දක්වා වූ කොටස නාගරික සීමාව ලෙස ප්‍රකාශයට පත් කෙරුණු බවයි පොලීසිය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර සඳහන්කළේ.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තොරතුරුවලට අනුව ප්‍රදේශයේ සිතියම් නිරීක්ෂණය කර අදාළ නාගරික ප්‍රදේශය ප්‍රකාශයට පත් කළ බවද ඔහු කියා සිටියා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය අද මහනුවර සහ මාවනැල්ල නගරවල ආරම්භ කිරීමට සැළසුම් කර තිබූ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහනටද මහනුවර සහ මාවනැල්ල අධිකරණවලින් ඊයේ නියෝග නිකුත් කෙරුණා.

ඒ, අදාළ කටයුතු පස්වරු දෙකෙන් පසුව සිදුකළ යුතු බවටයි.  

එසේම පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියේ මහනුවර සහ මාවනැල්ල අධිකරණයන් ලබාදුන් නියෝග නොතකා ක්‍රියාකරන සියලුදෙනාට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ අය විසින් කළහකාරී ක්‍රියා ඇති කිරීමට ඉඩ ඇති බැවින් ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවිය යුතු බවද පොලිස්පතිවරයා  නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.