පාද යාත්‍රාව හොරගොල්ලේදී නිහඬ වේ

Sunday, 31 July 2016 - 18:55

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%84%E0%B6%AC+%E0%B7%80%E0%B7%9A
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජනසටන පාද යාත්‍රාවේ සිව් වන දිනය අදයි.

අද උදෑසන නිට්ටඹුවෙන් ආරම්භ වූ පාද යාත්‍රාව කිරිබත්ගොඩ නගරයෙන් අවසන්වීමට නියමිත අතර මේ වන විට එය කිරිල්ලවල මංසන්ධියට ළඟා වී තිබෙනවා.

නිට්ටඹුවෙන් ගමන් ආරම්භ කළ පාද යාත්‍රාව හොරගොල්ල - බණ්ඩාරනායක සමාධිය පසුකරන අවස්ථාවේ ඊට විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණා.

ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරණතුංගගේ ඉල්ලීමකට අනුවයි.

කෙසේ වෙතත්, පාද යාත්‍රාවේ ගමන් ගත් පිරිස බණ්ඩාරනායක සමාධිය පසු කරන අවස්ථාවේ හිස් වැසුම් ගළවා, ධජ පහත දමා, නිහඬව එම ස්ථානයෙන් ගමන් කළ බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

පාද යාත්‍රාව ආරම්භක අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට එක්ව නොසිටි අතර අද පස්වරුවේ ගම්පහ - ඉඹුල්ගොඩ දී ඔහු පාද යාත්‍රාවට එක්වුණා.  

මේ අතර, සියණෑ ජලය සුරැකීමේ සංවිධානයේ හිටපු සභාපති පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිිමියන් තවත් හිමිනමක් සමග අද කොළඹ - නුවර පාරේ බැලූම්මහර - ඔරුතොට මංසන්ධියේ පිහිටි බෝධීන් වහන්සේට පහන් දල්වා වැලිවේරිය උද්ඝෝෂණයේදී මිය ගිය තරුණයන් තුන්දෙනා සිහිපත් කළා.

ඒ, ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව බැලූම්මහර ප්‍රදේශයට ළඟාවීමට පෙරයි.

උන්වහන්සේ සමඟ තවත් හිමි නමක් ඊට එක්ව සිටි බව අප වාර්තාකරු කියා සිටියා.

රතුපස්වල ජනතාව වැලිවේරිය නගරයේ සිදුකළ උද්ඝෝෂණයට සහ එහිදී ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරවලින් තුන්දෙනෙකු මිය යාමේ සිද්ධියට හෙටට වසර 3ක් සපිරෙනවා.

ඒ අනුව බෝධිය ඉදිරිපිට ජල බෝතල් කිහිපයක් තැබූ පූජ්‍ය තෙරිපැහැර සිරිධම්ම හිමියන් එම ස්ථානයේ පුවරුවක් ප්‍රදර්ශනයට තැබූ අතර එහි සදහන්ව තිබුණේ ‘‘එදා වෙඩි හඩට රතුපස්වල අපෙන් ජල බිදක්’’ යනුවෙන්.

කෙසේ වෙතත් උන්වහන්සේ එම ස්ථානයෙන් පිටත්ව යාමෙන් අනතුරුව ගම්පහ පොලිසියේ නිලධාරින් කිහිපදෙනෙකු පැමිණ එම ජල බෝතල් සහ පුවරුව අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

පාද යාත්‍රාව පැමිණෙන අතරතුර රතුපස්වල ජනතාව කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ විරෝධතාවක නිරත වීමට කටයුතු සූදානම් කර තිබුණත් ඊට අධිකරණය අවසර ලබාදුන්නේ නැහැ.