බිරිඳට වෙඩි තැබුවේ කර්නල්ද? පිස්තෝලය දියවන්නාවෙන් සොයාගනී

Tuesday, 30 August 2016 - 18:09

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%3F++%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාලඹේ - ඉසුරුපුර ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා වන යුද හමුදා ලූතිනන් කර්නල්වරයාගේ ගිනි අවිය ජපන් මිත්‍රත්ව පාලම අසල දියවන්නා ඔයේ තිබී පොලීසිය අද සොයාගත්තා.

ඒ, කොළඹ නාවික හමුදා කිමිදුම් කණ්ඩායමේ සහය ඇතිවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලූතිනන් කර්නල්වරයා සැකපිට අද අත්අඩංගුවට ගත්තේ ඔහුගේ රියදුරා පොලීසියට සිදුකළ ප්‍රකාශයක් පදනම් කරගනිමින්. මේ වනවිට පොලිසිය ඔහුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් පවතිනවා.

පසුගිය 27 වනදා රාත්‍රියේ 43 හැවිරිදි තුන්දරු මවක වන මෙම කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක්වූයේ මාලඹේ - ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවස තුළ සිටියදීයි.

ඇය සිය දරුවන් සමග නින්දට යාමට සූදානම් වන අවස්ථාවේදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබූ අතර, පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ නිවසේ පිටුපසින් පැමිණි පුද්ගලයෙකු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් ඇයට වෙඩි තබා පළාගොස් ඇති බවටයි.

වෙඩි ප්‍රහාරයට ලක්වු කාන්තාව 47 හැවිරිදි තම සැමියාගෙන් දික්කසාද වීම සඳහා නඩුවක් පවරා ඇති අතර, ඒ අනුව සැකකාර ලූතිනන් කර්නල්වරයාට ඇය පදිංචි නිවසට පැමිණීම තහනම්කරමින් අධිකරණ නියෝගයක් ද ලබාදී තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ මෙම කාන්තාව දැනට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.   

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සැකකරු අත්අඩංගුවට ගත්තේ ඔහුගේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ කරුණු පදනම් කරගනිමින්.

යුද හමුදා ලූතිනන් කර්නල්වරයා එදින රාත්‍රියේ ඉසුරුපුරට පැමිණි බවත්, තමන් වාහනයේ රැඳී සිටියදී ඉන් පිටව ගොස් යළි පැමිණ, අනතුරුව රථයෙන් පාර්ලිමේන්තුව දෙසට ගොස් ඔහුගේ අතේ තිබූ පිස්තෝලය දියවන්නා ඔයට විසිකළ බවත්, ඔහු පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුවයි එම ගිනි අවිය අද දහවල් සොයාගත්තේ.