නිදහස් පක්ෂයේ 65 වන සැමරුම අද

Sunday, 04 September 2016 - 7:57

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+65+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද කුරුණෑගල - මාලිගාපිටියේදී පැවැත්වෙනවා.

දිවයිනේ සියලූම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි ඒ සඳහා පාක්ෂිකයින් එක්වන බවයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

1951 වසරේ සැප්තැම්බර් 02 වනදා එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරණායකගේ නායකත්වයෙන් පිහිටුවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළමු වරට පාර්ලිමේන්තු මැතිවරණයකට මුහුණ දෙන්නේ 1952 වසරේදීයි.

එහිදී ආසන 09 ක් හිමිකර ගන්නා නිදහස් පක්ෂයට විපක්ෂ නායක ධුරය හිමිවන අතර, 1956 පාර්ලිමේන්තු මැතිවරණයෙන් මෙරට ආණ්ඩු බලය හිමි වනවා.

එහිදී මහජන එක්සත් පෙරමුණ සමඟ එක්වයි නිදහස් පක්ෂය මැතිවරණයට තරඟ කළේ.

1959 වසරේදී හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරණායක ඝාතනයට ලක්වීමෙන් පසු සිරිමාවෝ බණ්ඩාරණායක පක්ෂ නායකත්වයට පත්වුණා.

ඇය 1960 මහ මැතිවරණයෙන් ජයගෙන ලොව ප්‍රථම අගමැතිනිය බවට පත්වන අතර, 1970 සමගි පෙරමුණු රජයෙන්ද නිදහස් පක්ෂය තම බලය පිහිටු වනවා.

1977 මැතිවරණ පරාජයෙන් පසු යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායකගේ නායකත්වයෙන් බලයට පත්වනවා.

අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේද මැතිවරණ රැසක් ජය ගන්නා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වය හොබවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනයි.