පාසල් ඉල්ලන වෛද්‍යවරුන් තවමත් ඉසුරුපායේ

Wednesday, 14 September 2016 - 18:18

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A
අධ්‍යාපන අමාත්‍යවරයා සාකච්ඡාවක් ලබාදෙන තුරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් 200 කට ආසන්න සංඛ්‍යාවක් තවමත් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ රැඳී සිටිනවා.

බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයට ඔවුන් අද පෙරවරුවේ පැමිණියේ තම දරුවන් රජයේ ජනප්‍රිය පාසල්වල පළමු ශ්‍රේණියට මෙතෙක් ඇතුළත් කරගෙන නොමැති බව පවසමින්.

මෙම තත්ත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෛද්‍යවරුන් අතර විටින් විට විවිධ ගැටළු මතුවුණා.

අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමිවී තිබුණත් තම දරුවන්ට පාසල් අහිමිවී ඇති බව පවසන මෙම වෛද්‍යවරුන් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම අත්‍යාවශ්‍ය බව සඳහන් කරනවා.

එහෙත් පැය ගණනාවක් එම ස්ථානයේ රැඳී සිටියත් ඔවුන්ට සාකච්ඡාවක් හිමි වී නැහැ.

ගැටලූවට විසඳුම් ලැබෙනතුරු තමන් ඇතුලූ පිරිස අමාත්‍යාංශ පරිශ්‍රයෙන් පිටව නොයන බවයි  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රභාත් සුගතදාස කියා සිටියේ.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

එහි සඳහන් වුණේ තම දරුවන්ට අගනුවර සහ වෙනත් තදාසන්න ප්‍රදේශවල ඇති ජනප්‍රියතම ජාතික පාසල් ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම අමාත්‍යාංශයට බලපෑම් එල්ල කරමින් සිටින බවයි.

 දිවයින පුරා ජාතික පාසල් 352 ක් ක්‍රියාත්මක වන නමුත්, රාජකාරී පදනම මත ස්ථාන මාරු ලබන බොහෝ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම වී ඇත්තේ 12 කටත් අඩු ජනප්‍රිය පාසල් කිහිපයක් පමණයි.

කොළඹ රාජකීය, ආනන්ද, විශාඛා, මහනුවර ධර්මරාජ, කිංග්ස්වුඩ්, මහාමායා, උසස් බාලිකා, කුරුණෑගල මලියදේව බාලක සහ බාලිකා පාසල් ඊට ඇතුළත්.

තම වෘත්තීය සංගමයේ බලය යොදා ගනිමින් අසාධාරණ ඉල්ලීම් සිදුකරමින් ඔවුන්ගේ දරුවන් පමණක් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කිරීම කණගාටුවට කරුණක් බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.

ජාතික පාසල් 43 ක් සඳහා පළමු ශ්‍රේණියට ළමයින් හැට දෙදෙනෙකු සහ අනෙකුත් ශ්‍රේණි සඳහා ළමයින් 27 දෙනෙකු සඳහා අවස්ථාව ලබාදිය හැකි බවට දන්වා තිබියදී ජනප්‍රියතම පාසල් 12 කට දරුවන් ඇතුළත් කරගන්නා ලෙස වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බල කිරීම අසාධාරණ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර, මෙම කරුණ මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනයේ සංකේත වැඩවර්ජනයකද නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කුරුණෑගල, මහනුවර හා මාතර යන දිස්ත්‍රික්කවල රෝහල් කේන්ද්‍ර කරගනිමින් සංකේත වැඩවර්ජනයක් හෙට දියත් කෙරෙනු ඇති.