ඉසුරුපායේ රැඳී සිටින වෛද්‍යවරුන්ට ඉවත්වන්නැයි නියෝග

Thursday, 15 September 2016 - 13:03

%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුලූවී සිටින වෛද්‍යවරුන් සියලු දෙනා එම පරිශ්‍රයෙන් ඉවත්විය යුතු බවට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගනිමිනුයි කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ජනප්‍රිය පාසල් ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් 200 ක පමණ පිරිසක් ඊයේ පෙරවරුවේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය වෙත පැමිණ එහි ශ්‍රවණාගාරය තුළ රැඳී සිටිමින් විරෝධය පළ කළා. ඔවුන් ඊයේ රාත්‍රිය පහන් කළේද අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රය තුළයි.

කෙසේ වෙතත් අද පෙරවරුවේ අධිකරණ නියෝගය ලැබීමෙන් අනතුරුව වෛද්‍යවරුන් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙන් ඉවත්ව ගියා.

මේ අතර වෛද්‍යවරුන්ගේ මෙම විරෝධතා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහනට අද පෙරවරුවේ අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ වෛද්‍යවරුන් පැමිණ තම නිවස වටකළද ඔවුන්ගේ ඉල්ලීම් ලබාදිය නොහැකි බවයි.

මේ අතර මෙම ඉල්ලීම මුල් කරගනිමින් කුරුණෑගල, මහනුවර සහ මාතර රෝහල්වල වෛද්‍යවරුන් අද පෙරවරු අටේ සිට දහවල් 12 දක්වා සංකේත වැඩවර්ජනයක නිරතවුණා.

වර්ජන කාලය තුළ අදාළ රෝහල්වල කටයුතුවලට බාධා එල්ලවී තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.  

වෛද්‍යවරුන්ගේ මෙම ගැටළුව විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද පස්වරුවේ හදිසි සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා දක්වන ප්‍රතිචාරය අනුව රාත්‍රියේ රැස්වන විධායක සභාව විසින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අවසන් තීරණයක් ගනු ලබන බවයි.