අතුරුදන්වු තරුණයා හමුවෙයි

Thursday, 15 September 2016 - 15:51

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට පොලීසියේ අත්අඩංගුවේ සිට අතුරුදන් වූ බඳගිරියේ ජී.ජී. ගයාෂාන් නැමැති තරුණයා අද (15) පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

දික්වැල්ල - දීඝවාලූකාරාම රජමහා විහාරස්ථානයට අද පැමිණි අවස්ථාවේදී එහි විහාරවාසී හිමිනමක විසින් එම තරුණයා පොලිස් මූලස්ථානය වෙත රැගෙන ආ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

තරුණයා පොලිස් මූලස්ථානයට රැගෙන එනු ලැබුවේ දික්වැල්ල දීඝවාලූකාරාම රජමහා විහාරවාසී පූජ්‍ය අඹකොලවැවේ උද්දික හිමියන් විසින්.

20 හැවිරිදි මෙම තරුණයා පසුගිය 05 වනදා අතුරුදන් වූ අතර, මොහු ඇතුලූ තරුණයන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ හම්බන්තොට - බඳගිරිය - යහන්ගල ප්‍රදේශයේදී පෞද්ගලික ගබඩාවකින් වී තොගයක් සොරකම් කිරීමේ චෝදනාවකටයි.

පසුව තරුණයාගේ ඥාතීන් චෝදනා කළේ පොලිස් අත්අඩංගුවේ සිටියදී ඔහු අතුරුදන් වී ඇති බවටයි.

කෙසේ වෙතත්, ඔහුව අත්අඩංගුවට ගෙන දිනකට පසුව පොලිසිය ඔවුන්ගේ ඥාතීන්ට ප්‍රකාශ කර තිබුණේ තරුණයා පොලිස් අත්අඩංගුවේ සිටියදී පළා ගිය බවයි.

ඥාතීන්ගේ චෝදනාවලට අනුව තංගල්ල අපරාධ කොට්ඨාශය මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර, ඉන් අනතුරුවයි හම්බන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පස් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන්නේ.

කෙසේ වෙතත්, තරුණයන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය නිසි පරිදි රාජකාරිය ඉටු නොකර ඇති බව පවසමින් හම්බන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් 04 දෙනෙකු අද (15) වැඩතහනමකටද ලක්කළා.

මෙලෙස වැඩතහනමට ලක්වූවන් අතර, හම්බන්තොට පොලීසියේ සැරයන්වරුන් තුන්දෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු වනවා.