පුත්‍රයන්ගේ පහරදීම්වලින් පියවරුන් දෙදෙනෙකු මරුට

Saturday, 17 September 2016 - 10:58

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
බදුල්ල - හාලිඇල ප්‍රදේශයේදී පියාට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ 16 හැවිරිදි පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බීමතින් පැමිණ තම මවට පහරදීම හේතුවෙන් තම  පියාට මෙම බාල වයස්කාර පුත්‍රයා තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

එම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ 41 හැවිරිදි පියා නිවසින් පිටව ගොස් ඇති අතර, නිවස ආසන්නයේ මාර්ගයේදී ඔහු ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

බීමතින් පැමිණි පියා, මවට පහර දෙන බවට නැගනිය විසින් තමාට දැනුම් දුන් බව අත්අඩංගුවට ගත් බාල වයස්කාර පුත්‍රයා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

අනතුරුව ඔහු නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බව සදහන්.   

කොළඹ ප්‍රදේශයේ රතිඤ්ඤා කම්හලක කම්කරුවෙකු ලෙස සේවය කරන ඔහු පසුගිය බ්‍රහස්පතින්දා නිවසට පැමිණ ඇත්තේ සති අන්ත නිවාඩුව හේතුවෙන්.

සැකකාර පුත්‍රයා අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

මේ අතර බීමතින් පැමිණ තම පියාට මුගුරකින් පහරදී ඝාතනය කල සැකකරුවකු මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වී ඇත්තේ තඹගල්ල වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි හිටපු පොලිස් සැරයන්වරයෙක්.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු යුධ හමුදාවේ සේවය කර ඉවත්ව සිටින අයෙක් බවට හෙළිවී ඇතැයි අප වාර්තාකරු සඳහන් කලා.

අධික ලෙස බීමතින් පැමිණි සැකකරු පියා සමග බහින්බස්වී අනතුරුව පහරදී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

තුවාල ලැබු පියා හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මරණයට පත්වී ඇත්තේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර මාදම්පේ පොලිසිය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.