වරෙන්තුකරුවෙකු මිය යාමත් සමඟ පුස්සැල්ලාව පොලිසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් (ඡායාරූප)

Sunday, 18 September 2016 - 16:04

%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගම්පොළ - පුස්සැල්ලාව පොලිස් සිර මැදිරිය තුළ වරෙන්තුකරුවෙකු මිය යාමේ සිද්ධියත් සමඟ එම පොලිස් ස්ථානය ඉදිරිපිට අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් මෙම සිද්ධියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වීම හේතුවෙන්.

ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ විරෝධතාකරුවන් මාර්ගයට ටයර් දමා පුළුස්සමින් උද්ඝෝෂණයේ යෙදී සිටි බවයි.

මේ නිසා සති අන්තයේ නුවරඑළියට ගොස් පැමිණෙන සංචාරකයින් ද දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙනවා.

උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස කියා සිටියේ මෙම තරුණයාගේ මිය යාම සැක සහිත බවයි.

පැය 4කට ආසන්න කාලයක් පැවති විරෝධතාවය හේතුවෙන් නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ල වුණා.

කෙසේ වෙතත්, විරෝධතාවයත් සමඟ පුස්සැල්ලාව පොලීසිය ඉදිරිපිට පැවති තත්ත්වය පාලනය කිරීම සඳහා එම ස්ථානයට අමාත්‍ය පලනි දිගම්බරන් ද පැමිණි බවයි එහි සිටි හිරු ප්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ.

අමාත්‍යවරයා සමඟ ද විරෝධතාවයේ නිරත පිරිස් උණුසුම් වචන හුවමාරුවක නිරත වූ අතර, කෙසේ වෙතත්, පසුව කරුණු වටහා දීමෙන් අනතුරුව වතු කම්කරුවන් සිය විරෝධතාවය අවසන් කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ පොලිස් සිර මැදිරිය තුළ සිටියදී මෙලෙස ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇත්තේ පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කවිරාජ් රවිචන්ද්‍රන් නමැති වයස අවුරුදු 30ක තරුණයෙක්.

මෙම පුද්ගලයා පොලීසිය ඊයේ දිනයේ අත්අඩංගුවට ගත්තේ හෙල්බොඩ අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවකට අනුවයි.

මිය ගිය තරුණයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පුස්සැල්ලාව දිසා රෝහලේ දී අද පෙරවරුවේ සිදුකෙරුණා.

මේ අතර, ගම්පොළ අතිරේක මහේස්ත්‍රාත්වරයා තරුණයා ගෙළ වැළලාගෙන මිය ගිය පුස්සැල්ලාව පොලීසියේ සිර මැදිරිය ද නිරීක්ෂණය කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර පේරාදෙනිය වෛද්‍ය ඒකකයට යොමු කරන ලෙසයි.

කෙසේ වෙතත්, මෙම මරණය සැක සහිත බවට මිය ගිය කවිරාජ් රවිචන්ද්‍රන්ගේ පියා සහ මව ද මාධ්‍ය වෙත කියා සිටියා.

මේ අතර, මෙම සිද්ධියට අදාළව පුස්සැල්ලාව පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.






(ඡායාරූප - බාලක්‍රිෂ්ණන්)